ගොසිප් පුවත්

ගාල්ලෙන් ගිහින් ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ලෝකෙම අල්ලපු හැරී කියන කතාව

හැරල්ඩ් සොලමන්ස් යනු මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කිංග්ස්ග්රෝව් නම් සුවිශාල ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයේ ප්‍රධානියාය. ඔහුට කවුරුත් අමතන කෙටි නම හැරීය. මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත්ව ඇතත් හැරී යනු ශ්‍රී ලාංකිකයෙකි.

 

ගාල්ලේ සොලමන්ස් පවුලේ උපන් හැරී කුඩා අවධියේ සිට ඉගෙන ගත්තේ ගාල්ල, සාන්ත ඇලෝසියස් විදුහලේය.

 

60 දශකයේ මැද භාගයේ හැරී, ඇලෝසියස් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනුණු මැදපෙළ පිතිකරුවෙකු විය. මේ වන විට 73 හැවිරිදි වියේ පසුවන හැරී තම උපන් දිනය සැමරුවේ මීට දින කිහිපයකට පෙරය.

 

ඔහු ශ්‍රී ලංකාව හැර දමා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ 1973 වසරේදීය. මේ වන විට වසර 47ක් ඔස්ට්‍රේලියාවේ වසන හැරී පෙනුමෙන් ද ඔස්ට්‍රේලියානුවෙකු වැනිය. කතාබහ ද එසේය. එහෙත් ඔහු තවමත් ශ්‍රී ලාංකිකයන් හමු වූ විට කතා කරන්නේ සිංහලෙනි. එය උච්චාරණය ද අපූරුය.

 

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරින් මෙන් ම ක්‍රීඩකයන් අතර ද හැරී නොදන්නා අයෙකු නොවන තරම්ය. සිඩ්නි නුවර කුඩාවට ආරම්භ කළ ඔහුගේ ක්‍රිකට් භාණ්ඩ අලෙවිහල මේ වන විට ඔස්ට්‍රේලියාවේ පමණක් නොව කලාපයේ පිහිටි විශාලතම ක්‍රිකට් භාණ්ඩ අලෙවිහල්වලින් එකකි.

 

සිඩ්නි නුවර ඉහළ පෙළේ ව්‍යාපාරිකයකුව සිටිය ද හැරී 73 හැවිරිදි වියේ, තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරයි. ඔස්ට්‍රේලියානු අවුරුදු 70න් ඉහළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන හැරී ඔස්ට්‍රේලියානු අවුරුදු 70න් ඉහළ ක්‍රිකට් කණ්ඩායම සමග 2018 හා 2019 දී එංගලන්තයේ හා නවසීලන්තයේ සංචාරය කළේය.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අවුරුදු 60න් හා 65න් ඉහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළ හැරී ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් අවධියේ නිව් සවුත් වේල්ස් ක්‍රීඩා සමාජවල ක්‍රීඩා තරග කළේය. ගෝල්ඩන් ඕල්ඩීස් නම් අවුරුදු 40 න් ඉහළ ලෝක ශූරතා තරගාවලියක් සංවිධානය කළ හැරී එහි එක් තරගාවලියක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වීය. එහිදී හැරී ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා කණ්ඩායමටයි. හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයන් වන ඩගී වෝල්ටර්ස් හා ට්‍රෙවර් චැපල් ද එම කණ්ඩායම නියෝජනය කළෝය.

 

“ඩගී වෝල්ටර්ස් මගේ හොඳ ම යාළුවෙක්. ඔහු සම්බන්ධ ක්‍රීඩා සමාජ සමග පසුගිය කාලයේ මම ලංකාවේ කිහිප සැරයක් සංචාරය කළා. මා එක්ක සාන්ත ඇලෝසියස් විදුහලේ එකට ක්‍රීඩා කරපු නෙරංජන් විතානගේ අදත් මගේ හොඳ ම යාළුවන්ගෙන් කෙනෙක්,” හැරී සොලමන් පවසයි.

 

තමන් ඉගෙනුම ලැබූ සාන්ත ඇලෝසියස් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ මේ දක්වා ම උදවු කරන හැරී වාර්ෂිකව ක්‍රිකට් භාණ්ඩ පාසලට ලබා දීම සිරිතකි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ අශේන් බණ්ඩාරට හා නවිඳු නිර්මාල්ට ඔහු අනුග්‍රහය දැක්වීම විශේෂ සිද්ධියකි.

 

මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත්ව සිටින ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ද අනුග්‍රහය දක්වන්නේ හැරීය. චමරි යෝධ පහරවල් එල්ල කරන්නේ හැරීගේ කිංග්ස්පෝට් පිත්තෙනි. කිංග්ස්පෝට් වර්ගයේ ක්‍රිකට් භාණ්ඩ නිෂ්පාදකයා වන්නේ හැරීය. යොවුන් ක්‍රීඩිකා හර්ෂිකා හා හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද ක්‍රීඩා කරන්නේ කිංග්ස්පෝට් භාණ්ඩවලිනි.

 

ක්‍රීඩකයන්ට අනුග්‍රහය දැක්වීම හැරී කරන්නේ බොහෝ කලක සිටය. යුග ගණනාවක ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ඒ අතර වෙති. කලකට පෙර සිමන්ඩ්ස් නම් ප්‍රසිද්ධ ක්‍රිකට් පිත්තේ ඒජන්තවරයා වූ හැරී ක්‍රීඩකයන් බොහෝ දෙනකුට සිමන්ඩ්ස් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ අනුග්‍රාහකයා විය.

 

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබූ අවධියේ දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, ගයි ද අල්විස් මෙන්ම පසු කාලෙකදී අරවින්ද ද සිල්වාත් සිමන්ඩ්ස් වර්ගයේ පිති භාවිත කරනු ඔබ දැක ඇත. ඒවා හැරී විසින් අනුග්‍රහය දක්වමින් ලබා දුන් පිති බව බොහෝ දෙනා දැන නොසිටින්නට ඇත.

 

සන්දීප් පටෙල්, මැල්කම් මාෂල්, මයිකල් හෝල්ඩින්, වසීම් බාරි, ඇලන් බෝඩර්, ග්‍රෙග් මැතිව්ස්, ස්ටීව් ස්මිත්, කර්ට්නි වෝල්ෂ්, ශ්‍රී කාන්ත්, සලිම් මලික්, මොහොමඩ් අසාරුදීන්, ඉම්රාන් ඛාන් වැනි ක්‍රීඩකයන්ගේ ද කලක් පිති අනුග්‍රාහකයා හැරී විය.

 

ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට පැමිණි මුල් අවධියේදී හැරී රැකියාව කළේ නිව් සවුත් වේල්ස් බන්ධනාගාරයේ ක්‍රීඩා භාර නිලධාරියා ලෙසය. 1976දී සිඩ්නි නුවර කුඩා ක්‍රිකට් භාණ්ඩ අලෙවිහලක් ඔහු ආරම්භ කළේය. එක් සේවකයෙකු සමග එදා ආරම්භ කළ කිංග්ස්ග්රෝව් අලෙවිහල අද දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට ස්ටීව් වෝ, මාර්ක් වෝ සොහොයුරන්, මයිකල් ක්ලාක්, වේන් හෝල්ඩින් වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හැරී යටතේ මෙම අලෙවිහලේ අලෙවි නිලධාරීන් ලෙස සේවය කර තිබීම විශේෂත්වයකි.

“ඇලෝසියස් විදුහලේ මා ක්‍රිකට් ක්‍රීඩා කළ යුගය මට හොඳට මතකයි. ඒ අවධියේ පාසල පාලනය කළේ ජේසු නිකායේ පියතුමන්ලා. අපට වසරකට තිබුණේ තරග අටක් පමණයි. එයිනුත් දෙකක් වැස්සට හේදිලා යනවා. ඇත්තට ම අද වගේ පහසුකම් ඒ කාලේ අපට තිබුණේ නැහැ. හරි හැටි ක්‍රිකට් ආම්පන්න තිබුණෙත් නැහැ. බේලේසර් එකක්වත් නැහැ. 1965 මං ක්‍රීඩා කළේ මුබාරක් ජමාත් යටතේ. පැට්‍රික් බණ්ඩාර යටතේත් මම ක්‍රීඩා කළා. ඒ කාලේ ජාතික පාසල් කණ්ඩායමක් තෝරා ගද්දී මාවත් තෝරා ගත්තා. සුනිල් වෙත්තමුණි, රෙජී ජයසූරිය, ටෝනි අප්පදුරේ, පීටර් දිනේෂ්, ශ්‍රියන්ත රාජපක්ෂ, පොලිකාඩ් විජේසේකර වගේ ක්‍රීඩකයෝ ඒ කණ්ඩායමට ඇතුළත් වුණා,” තම පාසල් යුගය සිහි කරමින් හැරී එසේ පවසයි.
පාසලෙන් ඉවත්වීමෙන් පසු කොළඹට පැමිණි පසු කොළඹ නගර සභාවේ ක්‍රීඩාංගණ භාරකරුවෙකු ලෙස සේවයට බැඳුණේය. නගර සභාවේ ක්‍රීඩා සමාජය වන නොමෑඩ්ස් ක්‍රීඩා සමාජයට ඩී.එච්. ද සිල්වා යටතේ ක්‍රීඩා කිරීමට එහිදී අවස්ථාව ලැබිණි. ඩී.එච්.ගේ සොහොයුරන් වන ඩී.පී.ඩී.එස්, මෙන් ම දයා සහබන්දු, වාස් ගුණවර්ධන, අනුරුද්ධ පොළොන්නෝවිට, ටී.බී. කෙහෙල්ගමුව වැනි ක්‍රීඩකයන් එවකට නොමෑඩ්ස් පිල නියෝජනය කරන ලදී.
හැරීගේ ක්‍රිකට් භාණ්ඩ අලෙවිය තුළ කැඩුණු ක්‍රිකට් පිති යළි සකස් කිරීමද සිදු කෙරේ. මෙම කටයුත්ත මෙන්ම ක්‍රිකට් සමරු පිළියෙල කර අලෙවි කිරීම හැරී ඉමහත් ආශාවෙන් සිදුකරයි. ඔහුගේ අලෙවිහල යාබදවම විශාල ගෘහස්ත පුහුණු අංශයක් ද පවතී. එහි ක්‍රිකට් ඇකඩමියක් තිබෙන අතර එහි ප්‍රධාන පුහුණුකරු වන්නේ ඔහුගේ පුත්‍රයාය.
කුෂිල් ගුණසේකරගේ අධීක්ෂණයෙන් සීනිගම පවත්වාගෙන යන ගුණජය පදනම සමග ද හැරී කලක් මුළුල්ලේ සම්බන්ධව සිටී. මේ සඳහා හැරී වාර්ෂිකව ක්‍රිකට් භාණ්ඩ කන්ටේනරයක් එවන්නේ අවශ්‍යතා ඇති පාසල්වලට නොමිලේ බෙදා හැරීම සඳහාය. “සීනිගම ගුණජය පදනම පරිශ්‍රයේ ඉදිරියේදී කැඩුණු පිති යළි සැකසීමේ මධ්‍යස්ථානයක් මගේ අනුග්‍රහයෙන් පිහිටුවන්න යනවා. ඒ සඳහා ඩොලර් 15,000ක පමණ උපකරණ සහ මෙවලම් ඉදිරියේදී ලැබේවි,” හැරී තම නවතම ව්‍යාපෘතිය ගැන එසේ පවසයි.
“ශ්‍රී ලංකාව මා හැදූ රටයි. ඔස්ට්‍රේලියාව මා පිරිපුන් කරපු රටයි. මේ රටවල් දෙකට ම මම එක වගේ ආදරෙයි.” තවමත් තරුණයෙකු මෙන් කටයුතු කරන 73 හැවිරිදි හැරී සොලමන්ස් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් දකින්නේ එසේය.
සහන් රවිඳු
මව්බිම

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button