දේශපාලන පුවත්

කොරෝනා ප්‍රශ්නය විසඳන්න කැබිනට් එකට බලය දෙන්න – හමුදාපතිට බලතල නෑ – රනිල්

අද දින පාර්ලිමේන්තුවේ දිවුරුම්දීමෙන් පසු කථාවක් පැවැත්වූ හිටපු අගමැති හා වත්මන් එජාප මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කොරෝනා වසංගතය ලංකාවේ නිසි ලෙස කළමනාකරණය නොවන බවයි.

ජනතා බලයෙන් පත්වූ ආණ්ඩුවක් වෙනම තිබියදී එහි කැබිනට් මණ්ඩලයක් තිබියදී තීරණ ගැනීමට අවස්ථාව නොදී දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙකු වන හමුදාපති යොදවා සියලු තීරණ තීන්දු ගනිමින් හමුදාකරණයට ලක්කිරීම නිසා මෙම අර්බුදය කළමනාකරණයට අපහසුවී ඇති බවයි.
ව්‍යවස්ථා බලය අනුව දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙකුට වැඩකරන සීමාවන් ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග නිකුත් කිරීමට බලතල නැති බවත් අවශ්‍ය තැන්වල නිසි ලෙස කටයුතු කිරීමේ ප්‍රායෝගික අපහසුතා රැසක්ද මෙහිදී පැනනැගී ඇති බවයි.
ජනතා බලයෙන් පත්වූ විධායක කණ්ඩායම හා නිලධාරීන්ගෙන් සැදුම් ලත් සිවිල් කණ්ඩායම පැත්තක සිටියදී රටේ යුද්ධය හා ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති මිලිටරි කණ්ඩායම සෑම දෙයකටම මුල්තැනදී වැඩගැනීම නිසා අවුලක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ හමුදාපතිවරයා සමග තමන්ගේ කිසිදු අමනාපයක් නැති නමුත් මේ ක්‍රමය නොගැළපෙන බව කිය යුතු බවයි. ආයෝජන මන්ඩලයේ රැස්වීම් වලට පවා හමුදාපති සහභාගි කරවා තීන්දු ගැනීමට සැලැස්වීම හාස්‍යයට කරුණක් බව පෙන්වාදුන් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ වැඩි කැමැත්ත මත ප්‍රබල රජයක් බිහිකර තිබුණත් ව්‍යවස්ථාව ප්‍රකාරව එම රජයේ බලධාරීන්ට නිසි තැනක් තවම ලැබී නැති බව කියා සිටියේය.

ඉක්මනින් මෙම ක්‍රමය වෙනස් නොවුනොත් ඉදිරියේදී රට අර්බුදයකට යාහැකි බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මේ ගැන ඉදිරියේදී සියලු නායකයින් හා සාකච්ඡා කිරීමට පවා තමන් සූදානම් බවද දැන්වීය.

Back to top button