දේශීය පුවත්

රාජ්‍ය ආදායමෙන් සියයට 74 ලැබී අවසන් – මුදල් කමිටුවේදී හෙළිවේ

2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් මේ වන විට 74%ක් ලැබී අවසන් බව රාජ්‍ය මුදල් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

එම මුදල, අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1,580න් බිලියන 1,124ක් වන බව රජයේ මුදල් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2020 වසරෙහි රාජ්‍ය ආදායම පිළිබඳව සිදුකළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගේ සභාපතීත්වයෙන් ඊයේ රාජ්‍ය මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර එම අවස්ථාව සඳහා එහි සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ එම්. ඒ. සුමන්දිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, අනුප පැස්කුවල්, සහ සහන් ප්‍රදීප් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.

ඔවුනට අමතරව, එම රැස්වීම සඳහා එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) ආර්ථික විශේෂඥයන් පිරිසක්ද, විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් ද, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ද සහභාගී වී සිටියහ.

එම කාරක සභාව මෙසේ රැස්වූයේ, ස්ථාවර නියෝග 121 ට අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 06ක් ඇතුළත දී එම මුදල් වෙන් කිරීම රජයේ ප්‍රතිපත්ති සමඟ සමපාත වන්නේද සහ ඇස්තමේන්තුකරණය පිළිබඳව වාර්තාවක් එම කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිසය.

අයවැය හා සම්බන්ධ සියලුම දත්ත අතිශය නිරවද්‍ය වීම ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එය ඉදිරි අනාගතයේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධව දේශීය හා විදේශීය වශයෙන් දැඩි ලෙස බලපාන්නක් බවද කාරක සභාවට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ දී 2020 වර්ෂයේ ආදායම පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු තබා ගත හැකිදැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් විමසූ අතර ඔහු වසරේ ‍පළවන කාර්තුවෙහි ආර්ථික පසුබෑම සත්‍යයක් නමුත් දෙවන සහ තෙවන කාර්තුව සම්බන්ධ බලාපොරොත්තු අතිශය සුභවාදී බව සිය දත්ත ඇසුරෙන් පෙන්වා දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කරයි.

මේ අතර රාජ්‍ය මුදල් කමිටුවේ සාමාජිකයන්ව සිටි මන්ත්‍රී හේෂා විතානගේ සහ මන්ත්‍රී චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් සභාවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.

Back to top button