අරුම පුදුම

මිත්‍යාව වෙනුවට විද්‍යාව එක් කල අපේ පැරැන්නන්

බෝවන රෝග නැත්නම් වසංගත තත්ත්වයන් පැතිර යනවිට ඒවායින් ආරක්ෂාවීමට අපේ පැරැන්නන් අනුගමනය කළේ මොනවගේ උපාය මාර්ගයන්ද ?. දුම් ඇල්ලීම ඉන් ප්‍රධානයි.

දුම් ඇල්ලීම මගින් විෂබීජහරණය

පැරැන්නන් තමන්ගේ නිවස වගේම සේවා ස්ථානයටත් දුම් අල්ලන්න පුරුදු වෙලා හිටියා. ශාක හෝ සාම්බ්‍රානි කුඩු මේ සඳහා යොදාගන්නවා. මෙහිදී යොදාගන්නා ශාක පත්‍ර වෙන්නේ කොහොඹ, දෙහි, පාවට්ටා, කැප්පෙටියා, නික, ආඩතෝඩා ආදියයි. කොහොඹ කොළ දුමායනයෙන් ආසාධනය ඇතිකළ හැකි ක්ෂුද්‍රජීවීන් විනාශ කරදැමීම සිද්ධ වෙනවා. ඒවගේම මැසි, මදුරු උවදුරත් නැතිවෙනවා.
ඒවගේම සෙම්ප්‍රතිශ්‍යාව, තද හිසරදය, උණ හා කැස්ස වගේ ලෙඩරෝග වැළඳුණු විටදීත් විවිධ ශාක පත්‍ර භාජනයකට ගෙන ජලය සමග රත්කරලා එහි වාෂ්පය ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මෙමගින් සිද්ධවෙන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවන අපහසුතාව මඟහරවා හුස්ම ගැනීම පහසු කිරීමයි.
නික කොළ මේ වගේ අවස්ථාවලදී බහුලව යොදාගත්තා. නික කොළ මිටක් අරගෙන වතුරට දමා හොඳින් තම්බාගන්නවා. දුම් දමනකොට රෙද්දක් පොරවා ගෙන විනාඩි පහක්, හයක් පමණ කාලයක් දුම් අල්ලනවා. මෙමගින් නාසයේ උඩ පරානාසික කුහර පිටුපස විෂබීජ රැඳී තිබෙනවා නම් ඒවා විනාශ කිරීම සිද්ධවෙනවා.
කොරෝනා විෂබීජත් දින 3ක් හෝ 4ක් අපේ නාසයේ පරානාසික කුහර පිටුපස සැඟවී පැවතිය හැකි බව දැන් හඳුනාගෙන තියෙනවා. නික කොළ වැනි දුම් ඇල්ලීම ඊට හොඳම විසඳුමක් වෙනවා.

රෝගියෙකු සිටින නිවසක් බව පෙන්වීම

දෙවියන්ගේ ලෙඩ නැත්නම් කිළි රෝගයන් විදියට නම් කෙරෙන සරම්ප, කම්මුල්ගාය, පැපොල වගේ වෛරස් රෝග වැළඳුණු විටදී කොහොඹ කොළ අත්තක් එල්ලා තැබීමත් පැරැන්නන් අනුගමනය කරපු තවත් ක්‍රමවේදයක්. මෙමගින් සංකේතවත් කෙරෙන්නේ තමන්ගේ නිවසේ රෝගියෙකු සිටින බවයි. මෙවැනි රෝගීන් ඉන්න ගෙවල් වලට ගොස් එන අය තමන්ගේ නිවසට ඇතුල්වෙන්න කලින් ශාක යුෂ අන්තර්ගත උණු වතුරෙන් ස්නානය කර පිරිසිදු වෙනවා.
ශාක අත්ත එල්ලා තැබීම මගින් විෂබීජ ඇතුළුවීමක් සිදුනොවෙන අතර තවදුරටත් ඒ ස්ථානයේ විෂබීජ පැතිරීමක් සිදුනොවන බව විශ්වාස කෙරෙනවා.

ස්වයං නිරෝධායනය

දෙවියන්ගේ ලෙඩ වැළඳුණු පිරිස් අවම වශයෙන් සතියක කාලයක් වත් නිවසටම වී කල්ගෙවනවා. පැපොල, ඇස්ලෙඩ, කම්මුල්ගාය හා සරම්ප වැනි රෝග වැළඳුණාම සතියක කාලයක් නිවසටම වී කල්ගෙවන්න පැරැන්නන් වගබලා ගත්තා. මෙමගින් ඒ රෝගය වෙනත් කෙනෙකුට පැතිරීම වැළැක්වීම සිදුවුණා. වැදගත්ම දේ මෙවැනි වැළඳී සුවවූ විට පවා ඒ පුද්ගලයින් සමාජය තුළ ගැවසෙන කාලය අඩු කර එය වසංගතයක් වීම වළක්වා ගැනීමයි. ඒ වගේම එවැනි රෝගීන් සිටින පවුලේ උදවියත් ස්වයං නිරෝධායනයට ලක්වුණා. ඔවුන් වැවේ මංකඩ, ළිඳ වැනි පොදු ස්ථාන වල ගැවසුණේ නැහැ.

දෙයියන්ගේ ලෙඩ හා තහංචි

පැපොල, සරම්ප, ඇස් ලෙඩ හා කම්මුල්ගාය දෙයියන්ගේ ලෙඩ නමින් අතීතයේ හැඳින්වුණා. මෙම රෝග වැළඳුණු විට මුලින්ම සිදුකරන්නේ නිවස තුළම රෝගියාව වෙන් කිරීමයි. නිවස තුළ පවුලෙන් වෙන් කිරීම වගේම නිවස සහිත පවුල සමාජයෙන් වෙන් කිරීම සිදුවුණා.
නිවසේ ප්‍රධාන කොටස් සමග කිසිම සම්බන්ධයක් නැති කාමරයක තමයි මේ රෝගියාව තිබ්බේ.
කො‍හොඹ කොළ ඇතුරුමක් මත රෝගියාට නිදාගැනීමට සැලැස්වීම, කාමරය දින කීපයකට වරක් කහ දිය ඉස විෂබීජහරණය කිරීමත් සිදුවුණා. මේ කාමරයේ උළුවස්සේ පවා කොහොඹ කොළ එල්ලනවා. රෝගියාගේ කෝප්පය, පිඟාන පවා වෙන්කර වෙනම වැසිකිළි පහසුකම් සැපයීමත් සිදුවුණා.
මෙම රෝග වැළඳී දවස් 14ක් ගතවී ගියාට පස්සේ රෝගියාව නැහැවීම සිද්ධවෙනවා. නිවසේ ඈත වෙනම අතුපැලක් ඒ සඳහා හදනවා . ප්‍රතිශක්තිය වඩන පැඟිරි කොළ, කොහොඹ කොළ වැනි දෑ මේ වතුරට එකතු කරනවා. එතෙක් රෝගියා ඇඳසිටි රෙදි පුළුස්සා දමනවා.
සාමාන්‍යයෙන්, දෙයියන්ගේ ලෙඩ දවස් 3, 7 හා 21 පුරාවට පැවතුණා. උදාහරණයක් විදියට ගත්තොත් පැපොල රෝගය වැළඳුණු රෝගියෙකු නහවා පිරිසිදු කරන්නේ දින 14 කට පසුවය. ඉන්පසු එළඹෙන සතියක කාලය රෝගය දැඩිව පැතිරීයාමේ දැඩි අවධානමක් පවතින නිසා රෝගියා වගේම රෝගී තැනැත්තාගේ පවුලේ පිරිස ද දැඩි නිරෝධායනයට ලක්කෙරුණා.
මේ කාලයේදී රෝගියාට සමහර ආහාර වර්ග අනුභව කිරීම ද තහනම් වුණා. ‘මස්, මාළු‘ වැනි පිලිහුඩු කෑම වගේම කෑමට තෙල්, කහ වැනි දෑ එකතු කළේ නැහැ. මිරිස් හොදි වැනි දෙයක් ආහාරයට ගැනීමට ඉඩ ලබාදුන්නා.
රෝගියාට කණ්ණාඩියෙන් මුහුණ බැලීමත් තහනම් වුණු අතර කණ්ණාඩිය රෙද්දකින් ආවරණය කෙරුණා. මෙහිදී සිද්ධවුණේ මුහුණේ ඇතිවන බුබුළු දකිනවිට තිබෙන බය, අප්‍රසන්න බව, කළකිරීම් සහගත බව වළක්වාගැනීමයි.
දෙයියන්ගේ ලෙඩ ඇති රෝගියෙකු සිටින නිවසකට අවශ්‍ය සියළු දේ අනෙක් ගැමියන් විසින් සැපයීමත් සිද්ධවුණා. රෝගියා සුවපත් වූ විට ගමේ වෙද මහතා, ගුරුන්නාන්සේ හෝ කපුරාළ පැමිණ දෙවියන්ගේ ගුණ සිහිකර මැතිරීම වගේම පඬුරක් ගැට ගැසීමත් සිදුවුණා.

ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ හා ආහාර

ලෙඩරෝග සමග සටන් කර ඊට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. අපේ පැරැන්නන් දරුවෙකුගේ උපතේ සිටම ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් දුන්නා. කොරෝනා වසංගත පැතිරී ගියපු මුල් දවස්වලදී පෙරුම්කායම්, වෙනිවැල් හා කොත්තමල්ලි රැල්ලක් පැතිරී ගියා. ඒකට හේතුවුණේ ඒවා අපේ සාම්ප්‍රදායික දැනුම තුළ විශේෂ තැනක් හිමිවන විෂබීජ නසන ඖෂධ වීමයි.
පැරැන්නන් ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් යොමුකළේ දරුවෙකුගේ උපතේ සිටයි.
දරුවෙක් ඉපදිලා මාස කීපයක් ගතවුණාට පස්සේ පෙරුම්කායම් හා වදකහ දරුවන්ගේ සිරුර ස්පර්ශ වන විදියට බැන්ඳේ විෂබීජ වලින් දරුවට එල්ලවන තර්ජන වළක්වන්නයි.
කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ගේ ද ප්‍රතිශක්තිය වර්ධනයට මුල්තැන දෙන්න පැරැන්නන් අමතක කළේ නැහැ.
කොත්තමල්ලි පානය, සුදුළූණු ව්‍යංජනය හෝ කැඳ, මිංචි කොළ කැඳ හෝ කලවම් පලා, පොළොස් ආහාරයට ගැනීම ද සිරුරේ ප්‍රතිශක්තිය වඩන දිව්‍ය ඖෂධ වුණා.
වෙනිවැල්, ගම්මිරිස්, සූදුරු, මහදුරු, පත්පාඩගම්, දෙහි හා දෙළුම් ද පානයට එක්කර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යොදාගත්තා. හැකි හැම අවස්ථාවකදීම රතු ළූණු ආහාර වලට එකතු කරගැනීම මගින් දුර්වල වූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරගැනීමට හැකිවුණා. ඉඟුරු දැමූ තේ පානය ද, නෙල්ලි, රසකිඳ, වෙනිවැල්, රණවරා, බෙලිමල් පානය ද ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට මනා පිටුබලයක් වුණා.
අද දවසේදී කොරෝනා වසංගතයට ගොදුරුවී ඉන්න අපිට පැරැන්නන් යොදාගත්තු මේ ක්‍රමවේද නැවත නැවතත් සිහිපත් කරදෙන්නේ මේ වසංගත වළක්වා ගතහැකි සාම්ප්‍රදායික ඥාණය අපි සතුව අතීතයේ ඉඳන්ම පැවතුණු බවයි. එහෙනම් අපිට වැරදුණේ කොතැනද ?.

Leave a Reply

Your email address will not be published.

Back to top button