දේශීය පුවත්

ඩෙල්ටා, මෙරට ප්‍රධාන වෛරස් කාණ්ඩය විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ලෝකයේ අනෙකුත් රටවල ඩෙල්ටා ප්‍රභේද ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය ප්‍රකාශ කළ හැකි බවයි.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය අධික වීමයි.

දැනට රට තුළ ක්‍රියාත්මක එන්නත් වැඩපිළිවෙල ගැන සෑහීමකට පත්විය හැකි වුවත්, ප්‍රමුඛතාවයන්ට අනුව එන්නත් ලබාදීමේ ගැටලු තවමත් පවතින බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදා දීම වෙනුවට, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වැඩිම වයස් සීමා සලකා බලමින් ලෝක ප්‍රවණතාවයන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව එම සංගමයේ මතයයි.

එසේ නොවුනහොත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත්කරණය ඵල රහිත බව, ඔවුන් පෙන්වා දෙනවා.

ලෝකයේ අනෙකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නත් තෝරාගනිද්දී, අප එය නොසළකා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දත්ත නොමැති එන්නත් හදිසියේ අනුමත කර ගැනීමට යොමු වන්නේ ඇයි දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රශ්න කරනවා.

ඊට අමතරව සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය ගැන යළි සලකා බැලි යුතු බව ද එම සංගමය පවසනවා.

විශේෂයෙන් පිරිස් ඒකරාශි වීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50-60 අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බව, ඔවුන්ගේ අදහසයි.

එළිමහන් ස්ථාන වලදී ඒකරාශිවීම් සිදුවිය යුතු බවත්, ඒකරාශී වී සිටින කාලය දැනට අවසර දී ඇති කාලසීමාවට වඩා අඩු විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

Back to top button