තරු හුට පට

දුක් වෙන්න එපා..මම රංගනයට සමුදීලා නෑ..වැරදි ප්‍රචාරයක් සමාජ ගත වෙලා – ශලනි

තමා රංගනයට සමුදී ඇති බවට වැරදි ප්‍රචාරයක් සමාජ ගතවී ඇතැයිද එය නිවැරදි නැතැයිද රංගන ශිල්පිණී ශලනි තාරකා පුවත්පතකට පවසා තිබේ. ඇය එය මෙසේ පැහැදිලි කර තිබුණි.

‘මම රංගනයෙන් සමුගන්නවා කියලා කොහේවත්දීවත් කියලා නැහැ. මම කිව්වේ කොවිඩ්-19 වැළඳීම නිසා තාවකාලිකව ඉවත් වෙනවා කියන එක. යූටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල වැරදි ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. මටත් කිහිප දෙනෙක්ම කතා කරලා ඇහුවා ඇයි අයින්වෙන්නේ කියලා. මේ තත්ත්වය පොඩ්ඩක් අඩු වෙනකම් මම රූගත කිරීම්වල‍ට සහභාගි වෙන්නේ නැහැ. ‘කියාදෙන්න ආදරේ තරම්’ නාට්‍යය නම් කෙටි කාලයකට නතර කරලා තියෙන්නේ. ‘චලෝ’ නිර්මාණයේ නම් රූගත කළ කොටස් තියෙන නිසා ඒවා විකාශය වෙනවා.‘

නමුත් පසුගියදා ඇය රංගනයෙන් දායක වූ හිරු නාලිකාවේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍ය තුළින් ඉවත් වී තිබෙනවා. එම ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වුණු ‘සත්සරණී’ චරිතය තුළින් ඇයව ඉදිරියේදී දැකගන්නට නොලැබෙන අතර ඒ පිළිබඳ ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටියේ පෞද්ගලික කාරණයක් මත එම ටෙලි නාට්‍යයෙන් ඉවත් වූ බවයි.

එම සටහන පහතින්..

“මාගේ පෞද්ගලික කාරණයක් හේතුවෙන් ‘සිහින ගෙනෙන කුමාරියේ’ දිර්ඝ ටෙලිකතා මාලාවෙන් ඉවත් වුන බව එම ටෙලි නාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මෙලෙස සටහන් කරමි.

අවුරුද්දක් සහ මාස 8ක කාලයක් තුල ‘සත්සරණී’ යන චරිතයට නොවෙනස්ව ආදරය කරමින් වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් ඇගයීම් ලැයිස්තුවේ පෙරමුනේ අප ඔසවා තැබු ඔබට මාගේ ස්තූතිය පුද කරමි.

එමෙන්න මා එම චරිතයට තෝරාගත් ආයතන ප්‍රධානි විරාජ් වැලිවත්ත මහතාටත් අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර මහතාටත් කැමරාව හැසිර වු සුරේෂ් ධම්මික, වේෂ නිරූපන ශිල්පීන් කසුන් අයියා, ජනක අයියා ඇතුලු සමස්ත කාර්‍යය මණ්ඩලයටත් ස්තූතියි.

මා සමග රංගනයෙන් දායක වූ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, පබෝදා සන්දීපනි, අජිත් වීරසිංහ, ගයනි ගිසන්තිකා ඇතුලු ප්‍රවීන රංගන ශිල්පීන්ටද, සදෙව්, සකුනි, සවිදු, සනුලි, සංදීප්, සනුක, පුංචි සංසුවී මගේ ආදරණීය දරුවන් 7 දෙනාටද මේ කාලවකවානුවේ දුන්නා වූ සහයෝගයට අනේකවාරයක් ස්තූතියි.

ඒ වාගේම බාල මහලු වයස් බේදයකින් තොරව සත්සරණිව ආදරයෙන් වැලඳගත් ඔබ සැමටත් ගොඩාක් ස්තූතියි.

ඉතින් ඔබ හදවතේ මතකයන් ඉතිරි කර යන්නට අවසරයි.

මම සත්සරණි

-ශලනි තාරකා-”

Back to top button