ගොසිප් පුවත්
ගැහැණිය මොන දේ කරන්න ගියත් ගණිකාවක් කරලා තමයි අවසන් වෙන්නේ – ඩයනා ගමගේ

“අපි ඕනවට වඩා හොයන්න ගියොත්, ඒ බැඳීම දුරස් වෙලා යනවා නිදහස හොයාගෙන..”
“ගැහැණිය මොන දේ කරන්න ගියත් ගණිකාවක් කරලා තමයි අවසන් වෙන්නේ..”
“මම කලින් විවාහ වුණේ විදේශිකයෙක් එක්ක, මට පුතාලා දෙන්නෙක් ඉන්නවා..”
ඩයනා ගමගේ, මේ නම ඇයගේ රූපය බොහෝ දෙනෙකුට මතකයි. මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන ඇය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය එකම මන්ත්‍රිනීයයි. 20ට පක්ෂව ඇයගේ මනාපය ප්‍රකාශ කළ නිසා බොහෝ දෙනෙක් ඇයට විවේචන එල්ල කළා. ඇය ගැන සොයා බැලුවා. ඒ නිසා දේශපාලනයෙන් එහා ගිය සාකච්ඡාවකට මන්ත්‍රිනී ඩයනා ගමගේව අපි එකතු කර ගත්තා. මේ ඇය සමඟ කළ කතාබහයි.
20ට මනාප දුන් නිසා බොහෝ දෙනෙක් ඔබ ගැන කතාබහ කරනවා, ඔබ ඇත්තටම කවුද යන වග සොයා බලන්න බොහෝ දෙනෙක් පෙළඹිලා. ඒ නිසා පාසල් යන කාලේ හිටපු ඩයනා ගැන කතා කරලම මේ කතාබහ ආරම්භ කරමු..?
මම නුගේගොඩ සමුද්‍රා දේවි බාලිකාවේ අධ්‍යාපනය ලැබුවේ. මගේ පවුලේ දෙමාපියන් හැර හිටියේ මල්ලි විතරයි. එයා අහිංසකයි. නමුත් මම හරිම දඟ ළමයෙක්. හරිම දඩබ්බරයි. බයිසිකල් පදින, ගස් නගින කොල්ලෙක් වගේ හැසිරුණු කෙල්ලෙක්. පුංචි කාලේ ඉදලම මට අසාධාරණය පෙන්නන්න බැහැ. වැරදි දෙයක් නම් මම තාත්තා එක්ක වුණත් තර්ක කළා. එක ටෙක කිව්වා. ඒ කාලේ මට මතකයි තාත්තා කියනවා මම කවදා හරි නීතිඥවරියක් වෙයි මගෙත් එක්ක කතා කරලා බේරෙන්න බැහැ කියලා.
ඒ වගේම මම පොත් කියවපු කෙනෙක්. පුංචි කාලෙම මගේ තාත්තා අපිට හොඳ පොත් ගෙනත් දෙනවා කියවන්න. අපිට කියවීම පුරුදු කරේ තාත්තා තමයි. අම්මා ගැන කිව්වොත් එයා කතෝලික ආගමේ කෙනෙක්. නමුත් මම බෞද්ධ. අපිට දෙමාපියන්ගෙන් කිසිදේකට බාධාවක් නැහැ. නිදහසේ ජිවත් වෙන්න අපිට ඉඩ දුන්නා. ඒ නිදහසින් අපි කවදාවත් අයුතු ප්‍රයෝජන අරගෙනත් නැහැ.
ඔබේ දෙමාපියන් ඔබේ දඟකාර ජිවිතේ ගැන පසුතැවුනේ නැද්ද..?
කොහෙත්ම නැහැ. වැරදි දේවල් කරේ නැහැනේ. මම ඉගෙන ගන්න දක්ෂයි. ශිෂ්‍යත්වේ විභාගය හොඳින් සමත් වෙලා මට අනුලා එකට වගේම කොළඹ විශාකා විද්‍යාලයට ඇතුලත් වෙන්න අවස්ථාව ලැබුනා. ඒ වෙද්දී මගේ අම්මා ජිවත් වුනේ එංගලන්තයේ. ඒ නිසා අපි ජිවත් වුනේ ආච්චි අම්මා එක්ක. මගේ ආච්චි අම්මා කිව්වා වෙන ඉස්කෝල එපා ලඟම එක සමුද්‍රදේවී ඒකට යවන්න කියලා. මම දඟ නිසා තමයි එහෙම කළේ.
පාසල් යන කාලේ බොහෝ දෙනෙක් බාහිර කටයුතුවලට යොමු වෙනවා. ඔබත් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වුණාද..?
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරඟවලට විතරයි මම සම්බධ වුනේ. ඊට අමතරව එක දිගට ක්‍රීඩාවකට යොමු වුනේ නැහැ.
ඔබ කාලයක් එංගලන්තයේ ජිවත් වුණා, ඔබේ සුන්දර තරුණ කාලේ ගෙවුණේ එංගලන්තයේ, විවාහ වෙන්නෙත් විදේශිකයෙක් එක්ක. කොහොමද ඒ ජිවිතේ..?
මම සාමාන්‍ය පෙළ කරන කාලේ එංගලන්තයේ ගියා. එහෙ තමයි මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කළේ. තාත්තා කිව්ව විදිහට මම නීතියත් ඉගෙන ගත්තා. අම්මා එංගලන්තයේ නිසා එහෙ ගියේ. තරුණ කාලේ හරිම සුන්දරයි. ලස්සනට ජිවත් වුනා. මගේ පළමු විවාහය වෙන්නේ එංගලන්ත ජාතිකයෙක් එක්ක. ඒ අතීතය ගැන මම හිතන්නේ නැහැ දැන්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම තරුණ ළමයි. එයාලා විවාහ වෙලා නැහැ. මාව බලන්න නිතරම ලංකාවට එනවා. පළමු කසාදයෙන් දික්කසාද වෙලා මම අවුරුදු 20 කලින් ලංකාවට ආවා. මගේ සියලු දෙනා ඉන්නේ එහේ.
ඔබ ලංකාවට එන්නේ දේශපාලනයට අවතීර්ණ වෙන්න හිතාගෙනද..?
එහෙම අදහසකින් නෙමෙයි ආවේ. මට ඒ කාලේ ඉදලම කැමැත්ත තිබ්බේ ඉපදුනු රටේ ජිවත් වෙන්න. ගත එංගලන්තේ තිබ්බට හිත තිබ්බේ මෙහෙ. ඒ කැමැත්ත නිසා තමයි ලංකාවට එන්නේ. ඇවිත් දෙවැනි කසාදය කරගත්තා. මගේ මහත්තයා ආචාර්ය සේනකද සිල්වා. ඔහුගේ දේශපාලන ගමන එක්ක ඉන්නකොට තමයි මම දේශපාලනයට ආවොත් කියන අදහස ආවේ. ඒ නිසා දේශපාලන ජිවිතේ තෝරා ගත්තා. ඔහුගේ හෙවණැල්ල මගේ දේශපාලන ජිවිතේට බලපෑවා කියන්න පුළුවන්. ඒ වගේම මගේ රටේ සංවර්ධනය වෙනුවෙන්, කාන්තාවන් ළමයින් වෙනුවෙන් හඬක් නගන්න ඕන කියලා අවතීර්ණ වුනාට පස්සේ හිතුනා. හැමදේම රැදිලා තියෙන්නේ දේශපාලනය තුල. ඒ නිසා දේශපාලනය තුළට මම ඇවිත් ඒ තුලින් යමක් කරන්න ඕන කියලා මම හිතුවා.
දෙවැනි විවාහයේ සැමියා දේශපාලනයට සම්බන්ධ නිසා ඔබ ගැහැණියක් විදිහට දේශපාලනයට අවතීර්ණ වීම දැක්කේ කොහොමද, වාරණ දැම්මද..?
විවාහ ජීවිතයේදී ඉවසීම හා අවබෝධය එකිනෙකා තේරුම් ගැනීම හරිම වැදගත්. මම ඔහුවත් ඔහු මාවත් තේරුම් ගත්තා. අපිඅතර විශ්වාසය තියෙනවා. ඒ මත ගොඩනැගුනු ශක්තිමත් බැඳීම නිසා ඔහු මටවත් මම ඔහුටවත් නීතිරීති දාන්නේ නැහැ. මම කොහේ ගියත් කොහෙද යන්නේ, කීයටද එන්නේ, කාත් එක්කද එන්නේ මොනවාද කරන්නේ කියලා ඔහු අහන්නේ නැහැ. මම අහන්නෙත් නැහැ. කරන්නේ මොනවාද කියලා අවබෝධය තියෙනවා. ඒ නිසා වැඩ ඉවරකරලා ගෙදර එනකල් කෝල් කර කර වදදෙන්නේ නැහැ. ඒ මානසික මට්ටම මට ඔහු දීලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. මම ගැහැණියක් කියලා මම දන්නවා. මගේ සීමාව මම හදුනනවා. ඒ අනුව මම කටයුතු කරනවා. ඒ නිසා අපි අතර අනවශ්‍ය ප්‍රශ්න නැහැ. ඒ නිසාම අපි ලස්සනට ජිවත් වෙනවා. අපි ඕනවට වඩා හොයන්න ගියොත් සැක කරලා කටයුතු කළොත් ඒ බැඳීම දුරස් වෙලා යනවා නිදහස හොයාගෙන . ඒ නිසා නිදහසේ ජිවත් වෙන්න ඕන කියලයි මම හිතන්නේ.
කොතරම් කාර්යබහුල වුණත් ඔබ පවුලේ වගකීම් මග හරින්නේ නැහැ, එහෙමද..?
මම දන්නවා මම අම්මා කෙනෙක්, බිරිඳක්, තව පැත්තකින් දියණියක්. මම මේ වගකීම් ඉටු කරන්න ඕන කියලා. මම ඒ දේ කරනවා. මම දේශපාලනයට සම්බන්ධ ගැහැනියක් කියලා මගේ සැමියාව යටහත් පහත් කරගෙන මම කවදාවත් ජිවත් වෙන්නේ නැහැ. දේශපාලනය මගේ එක පැත්තක්. පවුල කියන්නේ මගේ සියලු බැඳීම් තියෙන තැන. ඒ නිසා ගෘහණිය විදිහට අම්මා කෙනෙක් බිරිඳක් හැටියට ගෙදරට වෙන්න ඕන යුතුකම් මම නොපිරිහෙලා ඉටු කරනවා. මගේ මහත්තයා මට කියලා නැහැ උයලා පිහලා රෙදි හෝදලා ගෙදර වැඩම බලාගෙන ඔයා ඉන්න ඕන කියලා. ඔහු කියන්නේ ගැහැණියක් වුණත් ශක්තියෙන් අපි තෝරාගත් මාර්ගයේ ගමන් කරන්න ඕන කියලයි. ගැහැණියකට කවදාවත් පිරිමි එක්ක සමතැන ගන්න බැහැ. ගැහැණියට නිසිතැන ලැබෙන්න ඕන.
ඔබ දේශපාලනයට අවතීර්ණ වෙනවට දෙමාපියන් විරුද්ධ වුනේ නැද්ද..?
මගේ තාත්තා නැති වෙලා අවුරුදු 26ක් වෙනවා. අම්මගේ කිසිම අකමැත්තක් තිබ්බේ නැහැ. එදා වගේම අදටත් මට උදව් කරනවා.
ගැහැණියක් දේශපාලනය කිරීම අභියෝගයක් නෙමෙයිද..?
මට කිසිදෙයක් අභියෝගයක් නෙමෙයි.
පිරිමි පාර්ශවය නිරන්තරයෙන්ම ගැහැණිය තලාපෙලා දාලා විවේචනය කරන එක ගැන ඔබ මොකද කියන්නේ..?
ගැහැණිය මොන දේ කරන්න ගියත් ගණිකාවක් කරලා තමයි අවසන් වෙන්නේ. සමාජ මාධ්‍යවල හරියට ගැහැණිය, තරුණිය කියන පිරිසට අවලාද කරනවා. හිංසා කරනවා. හොඳට හිටියත් අපහස කරනවා. මේ දේවල් දරාගන්න බැරුව විශාදය හෝ මානසික රෝගයක් හැදිලා කවුරු හරි සියදිවි හානි කරගත්තොත් කවුද වගකියන්නේ. ඒ නිසා මම කොහොම හරි සමජමාධ්‍ය හා කාන්තාවන්ට දරුවන්ට වෙන හිංසා ගැන නීතිය ක්‍රියාත්මක වෙන තැනට කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා. අනාගත දරු පරම්පරාව රැකගන්න හා කාන්තාව වෙනුවෙන් උපරිම දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම මගේ පුතාලා දෙන්නටත් කියන්නේ ගැහැණු ළමයි එක්ක බැඳීම් ඇති කරගන්න නමුත් ගැහැණු ළමයින්ට හිංසා කරන්න අසරණ කරන්න එපා කියලයි. මමයි පුතාලා දෙන්නයි ඉන්නේ යාලුවෝ වගේ. මම ඒ දරුවන්ටත් හොද දේවල් කරන්න කියලයි නිතරම කියන්නේ.
දැන් වගේම ඔබ තරුණ කාලෙත් ලස්සනට ඉන්න ඇති, කොහොමද ඒ කාලේ ආදරේ දැක්කේ, වින්දේ, පිරිමි ළමයින්ගේ ආකර්ෂණය එහෙම කොහොමද..?
ආදරේට වයසක් නැහැ කියලා කියනවනේ. කොයි වෙලාවක හෝ ආදරේ ඇති වෙන්න පුළුවන්. ආදරේ වයසට යන්නෙත් නැහැනේ. ඉතින් මමත් තරුණ කාලේ ආදරේ කරලා තියෙනවා. තරුණ කාලේ ආදරේ තේරුම් ගන්න හරි අමාරුයි. අයිති කරගන්නමයි බලන්නේ. කොල්ලා කෙල්ලෙක් දිහා බැලුවත් ඇති රණ්ඩු වෙන්න. ආත්මාර්ථකාමියි. එතන තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාවක්. මට නම් ඕන තරම් එහෙම වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. වයසට යද්දී තමයි ආදරේ තේරුම් ගන්නේ. එතකොට ආදරේ තියෙන්නේ ගැඹුරුම තැනක. ආදරේ වින්දා, පිරිමි ආකර්ෂණයත් නොතිබ්බාම නෙමෙයි. ජිවිතේ හරිම සුන්දරයි.
ඔබට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වුණා, ඇත්තටම ඒ විවේචන හමුවේ ඔබ සැලුණේ නැද්ද..?
ඒවා බලලා මමත් හිනා වෙනවා. සමහර විවේචන මට එවන්නේ මගේ යාලුවෝ. දුකක් පසුතැවීමක් නැහැ කොයිම මොහොතකවත්. මොකද ගැහැණිය වට්ටන්න පුළුවන් වෙන්නේ මානසිකව. මනසට බලපෑම් කල ගමන් ගැහැණිය වැටෙනවා. කැත කතා කියනවා වෛශ්‍යවියක් කරනවා අවසානයේ. නමුත් මම නම් ඒ බව තේරුම් අරගෙන ජිවත් වෙනවා. මගේ මනස ශක්තිමත්. මනසින්වත් මාව වට්ටන්න බැහැ කාටවත්. ඒ නිසා ඔය අපහාස නින්දා මම ගණන් ගන්නේ නැහැ. නොදැක්කා වගේ ඉන්නවා.
හර්ෂණී වීරරත්න