දේශීය පුවත්

මෙරට කොරෝනා ව්‍යාප්තියේ නවතම තොරතුරු මෙන්න

හෙට අලුයම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12ට අමතරව තවත් පොලිස් බල ප්‍රදේශ 5ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශ එලෙස හුදෙකලා කෙරෙනු ඇති.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බල ප්‍රදේශයද හෙට අලුයම 5 සිට හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අනෙකුත් දිස්ත්‍රික්කවල මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ හැර අනෙකුත් පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබූ හුදෙකලා කිරීම අද අලුයම 5 සිට ඉවත් කෙරුණා.

මේ අතර, ඊයේ දිනයේදීත් අලුතින් ආසාදිතයින් 389 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

මේ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,583 ක්.

ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 293 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,324ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5206 ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 53 ක්ද වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට තවදුරටත් කොරෝනා වෛරසයේ අවදානම දැඩිව පවතින බවයි.

කොළඹ මහනගර සීමාවට අයත් බල ප්‍රදේශවලට මෙම අවදානම වැඩි වශයෙන් පවතින බව ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.

Back to top button