දේශීය පුවත්

දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් නිවෙස්වලම මිය යන හේතුව මෙන්න.

මෙරට සිදු වූ වයස්ගතම කොවිඩ් මරණය අවුරුදු 88ක කාන්තාවක්…

මියගිය ලාබාලතමයා ලෙස වාර්තා වූයේ අවුරුදු 23ක තරුණයෙක්…

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 309 දෙනෙකු අද දිනයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,024ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් මරණ 4ක්ද අද වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 45ක්.

 

මේ අතර ආසාදිතයින් 646 දෙනෙකු සුවය ලබා පිටව යාමත් මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද අද 10,000 සීමාව ඉක්මවා ගියා.

මෙලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙක් පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර කොළඹ 11 ප්‍ර දේශයේ පදිංචි අවුරු 40ක තවත් පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැලණිය ප්‍ර දශයේ පදිංචිව සිටි අවුරුදු 45ක තවත් පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේදී අද ජීවිතක්ෂයට වුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ හෘදයාබාධ හේතුවෙන්.

කොවිඩ් 19 ආසාදිතයන් නිවාස තුළ මරණයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.

ඔවුන් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්.

එලෙස රෝගය හඳුනාගැනීමට පෙරම ඔවුන් මරණයට පත්වන්නේ ඇයි?

මෙරට කොවිඩ් 19 ආසාදිතයෙකු මරණයට පත්වීමේ පළමු පුවත වාර්තා වුණේ මාර්තු 28 වැනිදායි.

එතැන් පටන් ඔක්තොම්බර් 4 වැනිදා කොවිඩ් 19 දෙවන රැල්ලක ආරම්භය වන තෙක්ම මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වූයේ 13ක් ලෙසයි.

කොවිඩ් 19 දෙවැනි රැල්ලේ පළමු මරණය පසුගිය ඔක්තොම්බර් 23 වැනිදා වාර්තා වූ අතර අද වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගියා.

ඒ අතුරින් මරණ 18ක්ම වාර්තා වූයේ ගත වූ සතියක කාලය තුළයි.

දිනක වැඩිම මරණ සංඛ්‍යාව 5ක් ලෙස පසුගිය 6 වැනිදා සහ ඊයේ වාර්තා වූ අතර පසුගිය 8 වැනිදා කොවිඩ් මරණ 8ක් වාර්තා වුණා.

මෙරට සිදු වූ වයස්ගතම කොවිඩ් මරණය අවුරුදු 88ක කාන්තාවක්.

මියගිය ලාබාලතමයා ලෙස වාර්තා වූයේ අවුරුදු 23ක තරුණයෙක්.

තරුණ සහ මැදි වයසේ කිහිපදෙනෙකුද කොවිඩ් ආසාදිත මරණ ලැයිස්තුවට අයත් වුවත් ඔවුන්ට පවා වෙනත් සංකූලතා පැවති බව හඳුනාගත්තා.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොලඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංක්‍යාව 251ක්.
ඔවුන් අතරින් 55 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තාවීම විශේෂත්වයක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති අතර එම සංඛ්‍යාව 18ක්.
ඊයේ එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් දැක්වුණේ 99ක් ලෙසයි.

කළුතරින් ආසාදිතයින් 16 දෙනෙකුද වාර්තා වුණා.

මේ අතර පොලිස් නිලධාරීන් 91 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

ඔවුන් අතර නිරෝධායන වෙමින් සිටින කොටුව පොලිසියේ පිරිසක්ද වන අතර ඒ අනුව කොටුව පොලිසියේ ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දිවයිනේ පොලිස් ස්ථානවලින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 612ක්. විශේෂ කාර්ය බලකායේ 145 දෙනෙකුද ඒ අතර වනවා.

මේ අතර කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු චීන ජාතිකයන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යන පසුබිමක කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රුවන් විජයමුණි මහතා පවසන්නේ ලක්ෂ 6ක් පමණ ජනතාවක් සිටින කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශයේ කොවඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30,000ක් පමණ විය හැකි බවයි.

මේ අතර කොළඹ හුදෙකලා තත්ත්වයට පත්කළ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ට ගිලන්රථ සේවා අවශ්‍යතාවක් මතුවුවහොත් සඳහා 0113422558 දුරකතණ අංකය භාවිත කළ හැකි බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ පීසිආර් පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිතයි.

මේ අතර බෝගම්බර පැරණි බන්ධනාගාරය ආශ්‍රිතව සිදු කළ පීසිආර් පරීක්ෂණ මගින් තවත් රැදවියන් 23කු කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වුණා.

මින් පෙරද එම බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකු සහ නිලධාරීන් 2 ආසාදිතයින් බවට තහුවරුවීම හේතුවෙනුයි මෙම පීසිආර් පරීක්ෂණ සිදු කර තිබුණේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සදහන් කලා.

හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිත 43 දෙනෙකු ඊයේ එම ආයතනයට අනුබද්ධ කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැනුනා.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි තවත් කර්මාන්තශාලා 2කින්ද කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

වාලච්චේන ප්‍රදේශය හුදෙලා කිරීමත් සමග නිවාඩු ලබා පසුගිය 24 වැනිදා සිය ගම් ප්‍රදේශය වූ වාලච්චේන ප්‍රදේශයට පැමිණ සිටි අදාළ සේවකයාට ප්‍රදේශයෙන් පිටවීමට අවසර හිමි වී නැහැ.

ඒ පිළිබඳ ත්‍රිකුණාමල රෝහල් බලධාරීන් දැනුවත් කළ අවස්ථාවේදී වැටුප් කප්පාදුවක් සිදුවිය හැකි බැවින් ඔහුට සේවයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ සේවකයා රෝහලේ රාජකාරියට පැමිණ ඇති අතර එහිදී සිදුකළ පීසිආර් පරීක්ෂාවකදී ඔහුකොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

හැටන් දුඹුරුගිරිය ප්‍ර දේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි වයස අවුරුදු 18ක තරුණියකටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇයගේ පියා , මව සහ සහෝදරයෙකුද මින් පෙර ආසාදිතයින් බවට හඳුනාගත් අයයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ් ආසාදිතයෙකුගෙන් අදාළ තරුණියගේ මවට කොවිඩ් වෛරසය ආසාදයවී තිබුණා.

හංවැල්ල පහත්ගම ගල්මුල්ල ප්‍ර දේශයේ තරුණයෙකුට කොවිඩ් වෛසරය ආසාදනය වීම හේතුවෙන් ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් වූ පවුල් 5කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර නිරෝධායනය අවසන් කර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගම්පහ ප්‍ර දේශයට පැමිණෙමින් සිටි පිරිසක් ඔවුන් ගමන්ගත් බස් රථය අතරමග නතර කර බීමතින් ප්‍රදේශවාසීන් සහ පොලිසිය සමග කලහකාරී ලෙස හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පෙන්වා දෙන්නේ කොවිඩ් සඳහාවන එන්නත මෙරට අවශ්‍යතාවය අනුව ලබාදීමට ප්‍රමුඛතා කණ්ඩායම් තෝරා ගනු ලබන බවයි.
ඒ අනුව සෞඛ්‍ය අංශ සහ වැඩිහිටියන් සඳහා ප්‍රමුඛස්ථානය හිමිවන බවත් ඇය සඳහන් කළා.
”මේ වන විට එන්නත් 200ක් පමණ ඒ ඒ මට්ටම්වල අත්හදා බලමින් පවතිනවා. ඉන් 10ක් තුන්වන අදියරේ අත්හදා බැලීම්වලයි පවතින්නේ. මේවා සම්බන්ධ දත්ත ගැන නියාමන අධිකාරින් සිදුකරන ඇගයීම්වලින් පසු නිෂ්පාදන අනුමැතිය ලබාදීමයි සිදුකෙරෙන්නේ. ඉන් සමහරක් 2021 මුල් භාගයේ සිට ලංකාවට බෙදාහැරීමට හැකිවන බවට අපි විශ්වාස කරනවා. ලෝකයේ සමහර රටවල් වලට මේවා ලබාදීමට අපට සහයවනවා. ඒ අනුව ලංකාවටත් අවශ්‍යතාවය අනුව මේ එන්නත් ලබාදීමට ප්‍රමුඛතා කණ්ඩායම් තෝරා ගනු ලැබෙනවා. සෞඛ්‍ය සේවකයින් වැඩිහිටියන් ඒ අතරින් පුමුඛයි. ඊට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම ඒ ඒ රටවල්වල රාජ්‍යයන් විසින් සිදුකළ යුතුයි. මේ එන්නත් ක්‍රමවේදය ආරම්භ වෙන්න මාස කිහිපයක් ගතවේවි. ඒ නිසා වෛරසයෙන් ප්‍රවේසම්වීමටත් එය පැතිරීම වැළැක්වීමටත් සියලු දෙනා තවදුරටත් කැපවිය යුතුයි. හැමෝටම මේ සඳහා වගකීමක් පැවරෙන බවත් අමතක නොකළ යුතුයි. අප හැමෝටම මෙහිදී කාර්යභාරයක් පැවරෙන නිසා එක්ව කටයුතු කළොත් වෛරසය පරාජය කරන්න අපිට පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button