ගොසිප් පුවත්

බඩු මිල වැඩිවෙන්නේ රුපියල් වලින් නෙමේ, ඩොලර් වලින්..!

ලෝක වෙළදපළේ ඉන්ධන ඇතුළු භාණ්ඩ ඉහල යන්නේ රුපියල් වලින් නොව ඩොලර් වලින් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වන විටත් තෙල් සංස්ථාව ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ විශාල පාඩුවක් දරමින් බව ඔහු පවසයි.

මෙලෙස මෙතරම් භාණ්ඩ මිල ඉහල ගොස් තිබියදී ආණ්ඩුව උත්සහ කරනුයේ පාඩු විදගෙන හෝ මිල පාලනය කරගෙන කර තබා ගැනීමට බව ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුවක් ලෙස එය කොපමණ කාලයක් දරාගත හැකි දැයි ගැටළුවක් පවතින බව සදහන් කරන ඒ මහතා ලෝකයේ ඉන්ධන මිල එක දිගට ඉහල යන්නේ නැති බවත් පහල යන කාලයක්ද පවතින බව වැඩි දුරටත් සදහන් කරයි.

අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්දයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ. අන්තර් ජාලය හරහා ඇණවුම් කළ හැකි බව සුපිරි වෙළඳ ජාලාවලින් ප්‍රකාශ කරන ලද නමුත් අවසානයේ දී සාර්ථක වුයේ නැත. නිවෙස අසලටම පැමිණ යමක් විකුණා යන වෙළෙන්දෝ ප්‍රසාදය දිනා ගත්හ.

පැතිරීම පාලනය කරගෙන තිබේ. රට තුළ තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය වෙමින් පවතී. තහනම ඉවත්වන අතර ගමන් බිමන් පහසු වී ඇත. වෙළෙඳ සැල් ක්‍රමයෙන් විවෘත වෙයි. සුපුරුදු අලෙවි මධ්‍යස්ථාන නැවතත් කාර්ය බහුල වෙමින් පවතින බව පෙනේ. ඉකුත් මාස හතර තුළ නිවෙස අසලට එන විට සාදරයෙන් පිළිගත් සුළු වෙළඳුන්ගේ ජංගම රථ දැන් එපා වෙන තත්ත්වයකය.

මහ පාරට වැටුණ කුඩා ව්‍යවසායකයන්ගේ ඉරණම.

පැතිරෙන බව පුන පුනා ප්‍රකාශ කළ කාලය දැන් අමතකය. අනතුරක පසුබිම තුළ පවා යතුරු පැදියක හෝ ත්‍රී විලර් එකක ව්‍යවසායකත්වය ඇරැඹීය. සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණයක් පටවාගත් මෙම දිරිය මිනිස්සු ගෙයින් ගෙට වෙළඳාම් කළහ. ඇතැම් ව්‍යවසායකයෝ පවුලේ වෘත්තියක් කරගත්හ. ස්වාමියා වාහනය පදවන අතර බිරිඳ එහි ඇති දේ ගැන හඬ නගා කෑ ගැසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. දෙන දෙයක් වහා මිල දී ගත් පාරිභෝගිකයෝ අතරින් සමහර දෙනෙක් එකී වෙළෙඳුන්ට ස්තුති කළහ.

ඇතැමෙකුට ඇඳිරි නීති බලපත්‍ර නැත. සමහර දෙනෙකුට වෙළෙඳාම ගැන අවබෝධයක් නැත. පලා මිටියක සිට මස්, මාළු හෝ බිත්තර දක්වා නිවසකට දෛනිකව අවශ්‍ය හැම දෙයක්ම නොකඩවා සපුරන්නට මෙම අලුත් ව්‍යවසායකයෝ උත්සාහ කළෝය. සුපිරි වෙළෙඳ සැල්වල බඩු බෙදාහැරීම අසමත්ව එම ව්‍යාපාරිකයන්ගේ වෙබ් අඩවිවල කනගාටුව ප්‍රකාශ කරන දැන්වීම් පළ කරද්දී මෙම ජංගම වෙළෙන්දෝ ක්‍රියාශීලී වූහ. ඉතා අගය කළ යුතු පියවරකි.

රට ලිහිල් වන විට නගරයට යන පාරිභෝගිකයෝ බඩු මලු පුරවාගෙන නිවෙසට එති. එන අතරමග මහපාරේ සුපුරුදු ජංගම වෙළෙන්දෝ නතර වී සිටිති. වේගයෙන් යන වාහන ඔවුන් අසල නතර වෙන්නේ නැත. කඩින් කඩ වැටෙන වැසි හා හමා යන දූවිලි අතරින් පසුගිය මාස ගණනක අත්දැකීම් ඔවුන් මෙනෙහි කරනවා විය හැකිය. මහ පාරේ නතර කර ඇති තැනකින් යමක් ගන්නට නැඹුරු වෙන පිරිස බහුල නැත. තවත් සතියක් දෙකක් ගතවීමෙන් පසු නගර සභාව හා ආරක්ෂක අංශ මෙම සුළු වෙළෙඳුන්ට මහ පාර තහනම් කරනු නිසැකය. වාහන නතර කරන විට තදබදය ඇතිවන අතර බදු ගෙවන ස්ථිර වෙළෙඳුන්, මෙම අලුත් ව්‍යවසායකයන්ට එරෙහි වනු නිසැකය.

තමන් ජීවත්වන අතර අනුන්ට ද සේවයක් වූ පසුබිම.

මහපරිමාණ ආයෝජන වලින් පමණක් රටක් දියුණු කරන්නට පුළුවන්කමක් නැත. කුඩා හා මධ්‍ය පරිමාණ ආයෝජන ජාල අවශ්‍යය. මෙම කුඩා පිරිස් එදිනෙදා ආදායමෙන් ඔවුන් ජීවත්වන අතර නිපදවන්නන්ට හා පාරිභෝගිකයන්ට සේවයක් කරති. ලෝකයේ බලවත් ආර්ථිකයක් සහිත සෑම රටක්ම මුල කුඩා ව්‍යවසායකයාය. යමක් කරන ධෛර්යය ඔහුට තිබේ. වෙහෙසෙයි. ධනය උපයන්නට කැපවෙයි. රටක සංවර්ධන ප්‍රතිපත්ති හදන විට මෙම පැති අවධානයට ගත යුතුය. වෙනස්කම් වලින් සෑහෙන කොටසක් අලුතින් නැගී එන ව්‍යවසාය කෙරෙහි යොමු කළ යුතුය.

රැකියා උත්පාදනය, නිෂ්පාදනය නැංවීම, නව තාක්ෂණය භාවිතාව සහ කාර්යක්ෂමතාව කෙරෙහි ඉක්මනින් නැඹුරු විය හැකි අංශයකි. ඉදිරි දශකය තුළ අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකින් තෝරා ගත් කුඩා ව්‍යවසායකයන් පස් දෙනෙකු බැගින් හෝ තෝරා විශේෂ අවධානයක් යොමු කරන වැඩ පිළිවෙළක් ඇරැඹිය යුතුය. එය විශාල පරිවර්තනයක එක කොටසකි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වශයෙන් කොටසක් ආර්ථිකයක් තුළ තිබේ. සාමාන්‍යයෙන් වසරකට රුපියල් මිලියන හයසියයක පමණ පිරිවැටුමක් උපයන සහ වාර්ෂික ණය ගැනීමේ හැකියාව රුපියල් මිලියන දෙසීය නොඉක්මවන ඒවාය. මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය කොපමණ දිළිඳූ එකක් දැයි මේ අනුව අවබෝධ කරගත හැකිය.

සාමාන්‍යයෙන් රටක මහා පරිමාණ කර්මාන්ත ජාලය හා බැඳූන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ජාලය ආර්ථිකයක පැවැත්ම සමබර කරයි. විවෘත ආර්ථිකය තුළ වරින්වර ඇතිවිය හැකි අර්බුද හමුවේ මහා පරිමාණ කර්මාන්ත ප්‍රශ්න වලට මුහුණ දෙන නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ඉක්මනින් ප්‍රතිසංස්කරණ හඳූන්වා දී ඒවායෙන් ගැලවෙන පහසුව තිබේ. කොවිඩ් ප්‍රශ්නයේ දී ගෙයින් ගෙදර වෙළෙඳාමට ගිය ඔවුහු අද මහපාරේ තබාගෙන මුඛ ආවරණ විකුණති. අත් සෝදන දියර අලෙවියට යොමු වි තිබේ. ආණ්ඩුවෙන් රස්සාවක් ඉල්ලා ආණ්ඩුවෙන් යැපෙන්නට නොසිට ජීවත්වෙන්නට වැර දරන මෙම පිරිස කොපමණ වැදගත්ද?

අලුත් රස්සා හදනවාට වඩා හැදෙන අවස්ථා පෝෂණය.

ඉදිරි වසර පහලොව තුළ ලෝකයේ අලුතින් එකතුවන ශ්‍රම බලකාය සුළු පටු නැත. අලුත් රැකියා අවස්ථා මිලියන 600 ක් අවශ්‍යය. විශේෂයෙන් ආසියානු හා අප්‍රිකා උප කලාපයේ වේගයෙන් සිදුවන ආර්ථික දියුණුව සමග රැකියා අවශ්‍යතාව සැලකිය යුතු පීඩනයක් විය හැකි බව දැක්වෙයි. ලෝක බැංකු පර්​ෙ‌ය්ෂණයක් මෙම තොරතුරු අනාවරණය කර තිබේ. විශ්ව විද්‍යාලයකින් පිටවෙන උපාධිධරයෙකුට රස්සාවක් සපයන්නට අසමත් අපට අනාගතය ගැන හිතන්නට හැකියාවක් තිබේද..?

දැනට දක්වන අන්දමට සෑම රැකියා අවස්ථා පහකින් හතරක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය තුළින් උත්පාදනය කළ යුතුය. එයට හේතුවක් තිබේ. මහා පරිමාණ කර්මාන්ත වේගයෙන් තාක්ෂණයට නැඹුරු වෙයි. ඩිජිටල් යුගයේ දී මානව සම්පත අවශ්‍යම නැත. සුළු පිරිසකගෙන් දැවැන්ත යන්ත්‍ර පාලනය කළ හැකිය.

කර්මාන්ත යුගය පසුකර තාක්ෂණ යුගයකට ජාත්‍යන්තරය ගමන් කරන අතර දැන් හීන වෙමින් පවතින විදේශ රැකියා අංශය ද අනාගතයේ දී තවත් කුඩා වෙන්නට ඉඩ තිබේ. මේවා ගැන කල්පනා කරන විට උත්තර දිය යුතු ප්‍රශ්න සරල නැති බව අවබෝධ වෙයි. මෑත කාලය තුළ මෙරට වැඩිම රැකියා ප්‍රමාණයක් ලැබුණේ රාජ්‍ය අංශයෙන්ය. මැති ඇමැතිවරු තම අනුගාමිකයන්ට රැකියා දෙන්නේ රජයේ ආයතන වලය. ඉකුත් වසර පහ තුළ රාජ්‍ය සේවය දෙගුණයක් වූ අතර එම පිරිසට වැටුප් ගෙවන්නේ ජනතාවගෙන් අයකරන බදු වලින්ය.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගත තත්ත්වය තුළ වෙනස් මගකට අවතීර්ණ වීමට ප්‍රයත්න දරන ලද ජන කොටස රටට ආශීර්වාදයකි. අගනුවර හා තදාසන්න ප්‍රදේශවල ඉඩ කඩ ඇති තැන් වල යම් යම් දේ අලෙවි කරන පිරිස බලන්න. හොඳ වාහන වල තබාගෙන පොල් විකුණති. තවත් යමෙක් ගෙවත්තේ හැදුනු අඹ හෝ දෙල් විකුණන අතර තමන්ගේ වාහනයකින් පැමිණ එහි නිරත බව නිරීක්ෂණය කළ හැකිය. මෙම පරිවර්තන යුගයේ විප්ලවීය තීරණ ගෙන ඇති ව්‍යවසායකයන්ට දොරටු හැර දිය යුතුය. එය ආණ්ඩුවේ වගකීමකි.

අවිධිමත් ව්‍යවසායකයන්ට විධිමත් වගකීමක්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සම්බන්ධයෙන් ලෝකයේ සාර්ථකම රාජ්‍ය සේ සලකන්නේ ජපානයයි. එරට කර්මාන්ත හා ව්‍යාපාර වලින් සියයට අනුනමයක්ම සුළු හා මධ්‍ය පරිමාණ ඒවා වන අතර ඉතාමත් සංවිධානාත්මකව පවතින බව ජාත්‍යන්තර පිළිගැනීමයි. මැදි ආදායම් රටක තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකාව අලුත් ව්‍යාපාර ඇතිකිරීම හා රාජ්‍ය යාන්ත්‍රණය වේගවත් කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. එහි ලා ජාත්‍යන්තර සාධක කෙරෙහි නිරීක්ෂණය කළ යුතුය. ඉන්දියාව, තායිලන්තය සහ මැලේසියාව දෙස බලන්න. හොඳ ප්‍රමිතියක් සහිතව, පිරිසුදු හා විශ්වාසදායක භාණ්ඩ අලෙවිය හා සේවා සම්පාදනය එම රටවල කුඩා ව්‍යවසායකයන්ගේ සිරිතය. පාරිභෝගිකයන් රවටන්නේ නැත. වෙළෙඳාම කෙරෙහි ඇස ගසා ගෙන සිටින රජයේ නිලධාරී කණ්ඩායම් ද සිටී. පාරිභෝගිකයන් පමණක් නොව ව්‍යවසායකයන් ද ආරක්ෂා කරන වැඩ පිළිවෙළකි.

කොවිඩ් කාලය තුළ අලුතින් ස්වයං රැකියාවලට නැඹුරු වූ කුඩා ව්‍යවසායකයන් පිරිස පමණක් නොව තවත් ජාල ඇති කරන්නේ කෙසේදැයි අවධානය යොමු කිරීම අවශ්‍යය. පාරිභෝගිකයන්ට දුර තැන් වලට සුළු වෙළෙඳුන් ගාල් කර තැනූ ස්වයං රැකියා මධ්‍යස්ථාන වලින් පලක් වූයේ නැත. නිසි පසුවිපරමක් නැතිව බෙදාදුන් ජංගම අලෙවි රථවල වාරික ගෙවා ගත නොහැකි වූ ව්‍යවසායකයෝ අසරණ වූහ. ඒවායෙන් අත්දැකීම් ගැනීම සුදුසුය. ලෝක බැංකුව දක්වන පරිදි ව්‍යවසායකත්වය වර්ධනය සඳහා ප්‍රාග්ධනය අවශ්‍යය. පාක්ෂිකයන් තෝරා නොමිලේ යමක් බෙදා දීම හරි ක්‍රමය නොවේ. නිලධාරීන්ට දැන් මහ පාරේ වෙළෙඳාම් කරන දිරිමත් මිනිසුන් සොයා යා හැකිය. එය තෝරා ගත් පිරිසට අත දෙන, ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන නව මානයකට යොමු කරන ක්‍රමයක් ඇති කළ යුතුය. අලුත් ව්‍යවසායකයන් කෙළින්ම සෘජු අධික්ෂණයක් යටතේ තරමක කාලයක් පවත්වාගෙන යන පසුබිමක් ඇති කළ හොත් වැඩදායකය.

සාරා කන්දෙගොඩ

Back to top button