Colombo Kings කණ්ඩායමේ නායකත්වය අවසන් පූර්ව තරගයේදී වෙනස් වෙයි..?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කලම්බු කිංග්ස් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේ තම කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීම අභියෝගකාරී වූ බවයි.

තවත් තරඟ තුනක් හෝ හතරක් තම පිලට ජයග්‍රහණය කිරීමට හැකිව තිබූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත්, කැන්ඩි ටස්කර්ස් පිල පරදවා අවසන් පූර්ව වටයට පිවිසි තම කණ්ඩායම ඉතා ඉහළ මානසිකත්වයකින් සිටින බව ගෝල් ග්ලැඩියේටර්ස් නායකයා වැඩිදුරටත් සඳහන් කළා.

කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් තමාට පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකිවීම පිළිබඳව කණගාටු වන බවයි.

කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ලෝරි එවන්ස් සහ කේස් අහමඩ් ඉහළ දායකත්වයක් දැක්වූ බව මැතිව්ස් කියා සිටියා.

එමෙන්ම දඹුල්ල කණ්ඩායම සමග පැවැති තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් එම තරගයේදී ඔහු පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ නැහැ.

මේ වනවිට තමන් සුවය ලබා ඇති බවත්, අවසන් පූර්ව තරඟයේදී තමාට දස්කම් දැක්වීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කලම්බු කිංග්ස් නායකයා අවධාරණය කළා.

මේ අතර අදාළ තරගයේදී ආබාධයකට ලක් වූ ලොරි එවන්ස් අද තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි කොළඹ කණ්ඩායම් ආරංචි මාර්ග පවසන්නේ.

එමෙන්ම ගාලු කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක නුවන් තුෂාර ද ආබාධයකට ලක්ව තිබෙනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදීයි ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණේ.

මෙම කණ්ඩායම් ද්වීත්වය අතර පැවැත්වෙන තරඟය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රි 07 ට ආරම්භවීමට නියමිතයි.

Exit mobile version