චීනයේ පවුලක ළමුන් දෙකේ සීමාව තුනක් දක්වා වැඩි කරයි

මාවෝ සේතුං සමයේ චීනයේ ළමුන් එකක් පමණක් සිටින පුංචි පවුල් තනන්නට උපදෙස් දුන් අතර පසුව එය දෙක දක්වා ඉහළ නංවන ලදි. නමුත් වයස්ගත ජනගහණය සම්බන්ධ ගැටලු හා ආර්ථික වර්ධනයට මෙම ප්‍රතිපත්තිය බාධාවක් බව සමීක්ෂණ වලින් පෙන්වාදීමෙන් පසු චීනය ළමයින් තිදෙනෙකුගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට තීරණය කළ බව එරට නිල රජයේ පුවත් ප්‍රකාශක ෂිංහුවා පුවත් සඳහන් කළේය.
මෙම පියවර “අපේ රටේ ජනගහන ව්‍යුහය වැඩිදියුණු කිරීමට සහ වයස්ගත ජනගහනයට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇත” යනුවෙන් දන්වා ඇත.

ලෝකයේ දැනට වැඩිම ජනගහණයක් වෙසෙන එසේම දෙවන විශාලතම ආර්ථිකය ඇති චීනයේ මැයි 11 වන දින නිකුත් කරන ලද නවතම සංගණනයෙන් හෙළි වූයේ රටේ ජනගහනය දශක කිහිපය තුළ මන්දගාමී අනුපාතයකින් වර්ධනය වී ඇති බවත් එය ජන විකාශන අර්බුදයක් ඇතිවීමේ බිය ජනිත කර ඇති බවත්ය. පසුගිය ජාතික සමීක්ෂණයේදී වාර්ෂික ජනගහන වර්ධන වේගය 0.57% සිට 0.53% දක්වා පහත වැටී ඇත.

1980 දී ආරම්භ වූ එක් දරු ප්‍රතිපත්තිය නිසා චීනයේ සැලකියයුතු ජනගහණ සීමාවක් මතුවුවත් ආර්ථික හා සාමාජීය ගැටලු මතු කෙරිණි. ඒ නිසා 2015දී දෙදරු ප්‍රතිපත්තියකට වෙනස් කළ නමුත් දරුවන්ගේ විවිධතාව ගැන කණස්සල්ලට පත් දෙමාපියන්ගේ පැමිණිලි මෙන්ම හදිසි දරු වියෝවකදී මතුවන ගැටලු ආදී සාමාජීය කාරණා නිසා ඇතැම් තැනක මෙම සීමාවන් දැඩි විවේචනයට ලක්විය.
මෙම ප්‍රතිපත්ති නිසා කාන්තාවන් හා තනි පිරිමින්ගේ පරම්පරාවක් ඉතිරි කර තිබෙන බවද සමාජ සමීක්ෂකයින් පෙන්වා දෙන ලදි.

2015 දී චීනයේ සෑම ගැහැණු ළමයින් 100 ක් සඳහා පිරිමි ළමුන් 120 ක් පමණ සිටි බවද පැවසිණි.
ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩල රැස්වීම, වැඩකරන ජනගහනයේ කොටස වැඩි කිරීම සඳහා රටේ විශ්‍රාම යන වයස්වල ප්‍රමාදයන් ද සිදු කරන බව පැවසීය.
ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට චීනයයි. එහි බිලියන 1.4 ක ජනගහනයෙන් තිදෙනෙකුගෙන් එක් අයෙකු 2050 වන විට විශ්‍රාම යන වයස අපේක්ෂා කරයි.
මෙම සංසිද්ධිය නිසා වැඩ කරන ජනතාව ඉහළ නැංවීමේ අදහසින් නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමට යෝජනා කර ඇති අතර තුන්වෙනි දරුවෙකු සදන අයට විශේෂ දීමනා වරප්‍රසාද ලබාදී එය ප්‍රවර්ධනය හා දිරිමත් කිරීමට චීන රජය බලාපොරොත්තුවේ.

Exit mobile version