දේශීය පුවත්

බයිඩන් සහ පුටින් මුණගැසීමෙහි තිරයෙන් පිටුපස කතා එළියට

ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීම පසුගියදා වීදස් මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත් විය. ඇමෙරිකා ජනාධිපති ලෙස බයිඩන්, රුසියන් ජනාධිපති පුටින් හමුවූ පළමු අවස්ථාව වූයේ මෙයයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද සාකච්ඡා සඳහා සහභාගී වූහ. පැය දෙකක් තිස්සේ පුරාණ ‘විලා දේ ග්‍රාජ්” මන්දිරයේ පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත් දෙරට අතර සබඳතා වර්ධනය වූ බවත් පැවැසිණි.

බයිඩන් සහ පුටින් හමුවේ තිරයෙන් පසුපස සිදුවීම් රැසක් අනාවරණය වීම සිදුවූයේ සමුළුව අවසන් වී දින කීපයකට පසුවය. එම අනාවරණ සිදු කළේ ස්විට්සර්ලන්තයේ ‘ආර්.ටී.එස් ගුවන් විදුලි නාළිකාව සහ “ලා මාටිං දිමැනෙෂ් ” පුවත්පතය. බයිඩන් පුටින් හමුව පැවැත්වූයේ 16 වැනිදාය. ඇමෙරිකන් ජනපති බයිඩන්, ජිනීවා බලා පැමිණියේ 15 වැනිදා සවසය. ඔහු නැවැතී සිටීයේ ‘විලා දේ ග්‍රාජ්’ මන්දිරයට කිලෝ මීටර් කීපයක් දුරින් වූ සුඛෝපබෝගී හෝටලයකය. ‘ලා මාටිං දිමැනෙෂ්’ පුවත්පතට අනුව, බයිඩන්ගේ හෝටල් බිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි. හෝටලයේ වර්ග මීටර් 650 ක් වූ ඉහළ මහල සම්පූර්ණයෙන්ම බයිඩන් වෙනුවෙන් වෙන් කෙරුණි.

ස්විට්සර්ලන්ත පොලිස් නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් 4,000 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීණි. බයිඩන් සහ පුටීන් හමුව හේතුවෙන් ක්‍රියා ත්මක වූ විශේෂ ආරක්ෂක වැඩසටහනට අනුව පැය 20 කට වැඩි කාලයක් මධ්‍යම ජිනීවා නුවර වසා දැමුණු බව ද පැවැසෙයි. අගනුවර එසේ වසා දැමුණේ ජිනීවා වැසියන් දැඩි අපහසුතාවට පත් කරමිනි. මේ සම්බන්ධයෙන් ජීනීවා නුවර වැසියන් රජයට සිය අප්‍රසාදය පළ කර ඇතැයි ආර්.ටී.එස්” ගුවන් විදුලි නාළිකාව වාර්තා කර තිබේ.

Back to top button