දේශීය පුවත්

දක්ෂිණ අධිවේගයේ ඇන්ටිජන් පරීක්ෂණ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථ ආශ්‍රිතව අද (17) දිනයේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී බස් රථ මගීයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ දුර ගමන් සේවා බස්රථ ආශ්‍රිතව පින්නදූව පිවිසුමේදී අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 68ක් සිදු කළ බවය.

එහිදී අධිවේගී මාර්ගයේ ධාවනය වූ 18 දෙනෙකු රැගත් බස් රථයක සිටි එක් මගියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු මගීන් සියලුම දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පැවසීය.

මේ අතර රත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ විහාරස්ථානයේ සෙසු භික්ෂූන් වහන්සේ නිරෝධායනයට ලක් කිරීමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button