අරුම පුදුමවිශේෂාංග

නින්දේදී සිරුර ගල් වෙලා කතා කර ගන්න බැරුව යන්නේ ඇයි ?

Dangerous things that happen in sleep

අපි හැමෝම නින්දට යන්නේ බොහොම සාමකාමී සුවබව නින්දක් ලබා ගැනීමේ අරමුණින්. මෙහෙම හිතාගෙන නින්දට ගියත් , අපි කාටත් ඉදලා හිටලා වගේ , නින්ද හා සම්බන්ධ , හරි අමුතු අද්භූත සංසිද්ධීන් වලටත් මුහුණ දෙන්න වෙනවා. නින්දෙන් ඇවිදීම , නින්දෙන් කතා කිරීම , ගැස්සිලා ඇහැරිම එතකොට නරක හීන පෙනීම වගේ දේවල් මේ සම්බන්ධයෙන් උදාහරණ ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ මේ සේරටම වඩා දරුණු නිද්‍රා අත්දැකීමක් ගැන. ඔබත් මේ අත්දැකීම ජිවිතයේ එක් වරක් හෝ විදලා තියෙනවා නම් , එහි තිබෙන භයංකාරත්වය මොන තරම්ද කියලා ඔබට දැනිලා ඇති. ගොඩක් අයට මේක වෙන්නේ දවල් කාලයේ කියලා තමයි කියන්නේ.

Dangerous things that happen in sleep
Dangerous things that happen in sleep

නිකමට හිතන්න ඔබ උඩු බැලි අතට නිදාගෙන ඉන්නවා කියලා. එකපාරටම ඔබට ඇහැරෙනවා. ඒ කියන්නේ ඇස් දෙක ඇරලා ඔබට වටපිට බලන්න පුළුවන්. දැන් ඔබ උත්සහ කරනවා ඇදෙන් නැගිටින්න. මෙන්න මෙතනදී තමයි මෙම සිදුවීමේ භයන්කාරම කොටස පටන් ගන්නේ. ඔබට ඇදෙන් නැගිටින්න තියා අතපය හොල්ල ගන්නවත් බෑ. මොන තරම් වීරිය අරන් උත්සහ කරත් ශරීරය දශමයක්වත් හෙලෙන්නේ නෑ. මුළු ඇගම ගල් වෙලා. දැන් ඔබ උත්සහ කරනවා. උදව් ඉල්ලලා කෑ ගහන්න. ගොඩක් අය අම්මේ අම්මේ කියලා තමයි කෑ ගහන්නේ. නමුත් ඔබ මොන තරම් කතා කරන්න උත්සහ කරත් ඉබේ කටෙන් ශබ්ධය පිට වෙන්නේ නෑ. ඔබට කිසිම පණිවිඩයක් බාහිර ලෝකයට දෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. හැබැයි ඔබ අවධියෙන් කියලා ඔබට තේරෙනවා. ඔබට වටපිටාව හොදින් පේනවා. දැන් නැවත ඔබට නින්ද යනවා. ඒ සැණින්ම පෙර ලෙසම නැවතත් ඔබට ඇහැරෙනවා. ඔබ හිතනවා මේ පාර නම් මම ඇත්තටම ඇහැරිලා කියලා. හැබැයි බොහොම භයානක ලෙස මේ සැරෙත් කලින් වගේම ඔබේ ශරීරය ගල් වෙලා. මොන තරම් හයියෙන් කෑ ගැහුවත් කටින් වචන පිටවෙන්නේ නෑ. මේ විදියට දෙතුන් සැරයක් වෙලා බොහොම අපහසුවෙන් තමයි ඇත්තටම නින්දෙන් අවදි වීමට ලැබෙන්නේ. මේ අත්දැකීම ලබපු සමහරුන්ට තමුන්ගේ ශරීරය කිසියම් යකෙක් වැනි හැඩිදැඩි කෙනෙකු තදින්ම බදා ගෙන ඉන්නවා වගේ හැගීමක් හොදින්ම තේරිලා තියෙනවා. සමහරුන්ගේ පපුව උඩ කවුරු හරි වාඩි වෙලා ඉන්න බවක් දැනිලත් තියෙනවා.

අපි මේ කිව්වේ හොල්මන් චිත්‍රපටයක තියෙන ජවනිකා සමුහයක් ගැන නම් නෙවෙයි, ලෝකය පුරාම සැළකිය යුතු පිරිසක් නිතර නිතර අත්විඳින අත්දැකීම් සමුහයක් ගැන. හැබැයි මෙය ඇත්තටම කිසියක් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඇති කරන දෙයක් නම් නෙවෙයි. පෙරදිග නිදි ආඝාතය, එහෙමත් නැති නම් ස්ලීප් පැරලයිසීස් කියලා හඳුන්වන මේ තත්ත්වය, නින්දෙන් ඇහැරෙනකොට ඇති වෙන තාවකාලික අංශභාගය තත්ත්වයක් කියලයි විද්‍යාන්චයින් පැහැදිලි කරන්නේ. අපේ මොළය නින්දේ තිබිලා ක්‍රම ක්‍රමයෙන් අවදි වෙන කාල සීමාවේදී තමයි මෙය සිදු වෙන්නේ. විද්‍යාත්මකව බැලුවොත් , මේක ඇත්තටම අපි වචනයෙන් විස්තර කළාටත් වඩා අතිශයින්ම බියකරු අත්දැකීමක්.

Dangerous things that happen in sleep
Dangerous things that happen in sleep

නිදි ආඝාතයක් ඇති වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න මොළයෙන් අපේ පේශි චලනය කරන විදිහ දැනගෙන ඉන්න එක වැදගත්. අපේ මොළය සිරුරේ ඉච්ඡානුග පේශි සියල්ලම පාලනය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉච්ඡානුග පේශි කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට චලනය කරන්න පුළුවන් පේශියි. අතපය සහ මුහුණේ පේශි ආදිය අපිට අවශ්‍ය වෙලාවට චලනය කරන්න පුළුවන්. මොළයේ සිට ස්නායු පද්ධතිය හරහා යවන සංඥා පේශිවලට ගිහින්, එහි විද්‍යුත් වෙනස් කම් සිදු වීම තමයි මේ හැකියාවට හේතු වෙන්නේ. අපේ මොළයට සිරුරේ ඇතැම් අභ්‍යන්තර අවයවවල පේශි චලනය කරන්න හැකියාවක් නැහැ. ඒවා අනිච්ඡානුග පේශි කියලා හඳුන්වනවා.

අපි නින්දට යාමේදී සිදු වන්නේ මේ විදිහට සිරුරේ තියෙන ඉච්ඡානුග පේශි සියල්ලම වගේ අක්‍රීය වෙන එකයි. ඒ වගේම අපේ ස්නායුක සංවේදනත් තරමක් අඩපණ තත්ත්වයකට පත් වෙනවා. නින්දට ගිහින් තිබෙන ප්‍රමාණය මත මේ අඩපණ වීමත් වෙනස් වෙනවා. මේ නිසා යාන්තමින් නින්ද ගිහින් ඉන්න කෙනෙක්ට කුඩා ශබ්දයක්, සාමාන්‍ය ආලෝකයක්, සුළු ස්පර්ශයක් වගේ දේකින් වුණත් ඉක්මණින් ඇහැරෙන්න පුළුවන්. නමුත් තදට නින්ද ගිහින් තියෙන කෙනෙක් ඇහැරවන්න ඊට වඩා වැඩි ශබ්දයක්, ආලෝකයක් හෝ චලනයක් දැනෙන්න අවශ්‍යයි. මේ අඩපණ වන ප්‍රමාණය ජීවන රටා, ජානමය ලක්ෂණ වගේම නින්දට යන්න කලින් දවස ගත කරපු විදිහ අනුවත් වෙනස් වෙන්න පුළුවන්.

තද නින්ද කියලා අපි හඳුන්වන තත්ත්වයේදී සිරුරේ හැම සංවේදනයක්ම දුර්වලයි වගේම ඉච්ඡානුග පේශි සියල්ලම වගේ අක්‍රීය තත්ත්වයේ තිබෙනවා. නමුත් අපේ ඇස්වල පේශිවල හරිම අසාමාන්‍ය හැසිරීමක් දැක ගන්න පුළුවන්. තද නින්දට පත් වීමත් එක්ක අපේ ඇස් වේගයෙන් එහා මෙහා චලනය වෙන්න ගන්නවා. මෙය හඳුන්වන්නේ වේගයෙන් ඇස් චලනය වන නින්ද කියන අදහස පවතින, රැපිඩ් අයි මූව්මන්ට් (rapid eye movement) යන නමින්. බොහෝ විට එහි මුල් අකුරු එකතු කරලා රෙම් (REM) නින්ද විදිහට තද නින්ද හඳුන්වනවා. නින්දෙන් අපිට සිහින පෙනීම සිදු වෙන්නේ මේ අවස්ථාවේදීයි. සියලුම ඉච්ඡානුග පේශි අක්‍රීය නිසා සිහින දකින විට මොළයෙන් නිකුත් වන විද්‍යුත් සංඥා අපේ ඇස්වල පේශිවලට එකතු වීම, ඇස් වේගයෙන් චලනය කරන්න හේතු වෙන බව පැවසෙනවා.

ඉතින් ඒ අපි කතා කරේ අපේ මොළය නින්දේදී ක්‍රියා කරන ආකාරය ගැනයි. කොහොම නමුත් අපේ මොළය මේ තත්ත්වයට පත් වෙන විදිහේ නම් වෙනස් කම් රාශියක් තිබෙන්න පුළුවන්. අපේ එදිනෙදා ජීවන රටාවේ හැම දෙයක්ම වගේ අපේ නින්ද මොන වගේද කියන එකට බලපාන්න පුළුවන්. නිතරම පරිගණක හෝ ජංගම දුරකථන තිර දිහා බලාගෙන ඉන්න එක, පෝෂණයේ අඩුපාඩු, මානසික ආතතිය ඇතුළු හිතේ ප්‍රශ්න, නිදා ගන්න වෙලාවේ ඇති බාධා ආදී හැම දෙයක්ම මොළය විවේක ගන්නා විදිහ වෙනස් කරන්න හේතු වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස් වීම් නිසා මොළය තද නින්දට, එහෙමත් නැතිනම් රෙම් නින්දට යන්න ගත වෙන කාලය, එයින් ඉවතට එන්න ගත වෙන කාලය වගේම ඒ විදිහට මාරු වන කාල පරාසය අතරතුර නිකුත් කරන ස්නායුක සංඥාවලත් වෙනස්කම් හට ගන්නවා. මේ සියල්ලම අවාසනාවන්ත විදිහට පෙළ ගැසීමෙන් තමයි අපි මේ කතා කරන නිදි ආඝාතය, එහෙමත් නැතිනම් ස්ලීප් පැරලයිසීස් කියන තත්ත්වය හට ගන්නේ.

නිදි ආඝාතය ඇති වෙන අවස්ථාවක අපේ මොළය සාමාන්‍ය විදිහට තද නින්දේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් අවදි වෙමිනුයි ඉන්නේ. සිරුරේ ඉච්ඡානුග පේශි ක්‍රම ක්‍රමයෙන් මොළයේ පාලනයට නතු වීම මෙහිදී සිදු වෙනවා. කොහොම නමුත් මේ ක්‍රියාවලියට නින්දේ තිබුණාට වඩා වැඩි ශක්තියක් මොළයට අවශ්‍යයි. ඒ නිසා හුස්ම ගැනීම සහ හද ගැස්ම සෙමින් වේගවත් කරගනිමින්, ඔක්සිජන් බහුල රුධිරය වැඩිපුර ගෙන්වාගෙන, මොළයේ සෛල පණ ගන්වා ගැනීම ආරම්භ වෙනවා.

කොහොම නමුත් අපි කලිනුත් කතා කරපු විදිහට විවිධ හේතු නිසා මේ ස්වභාවික ක්‍රියාවලියට බාධා ඇති වෙන්න පුළුවන්. මෙයට ප්‍රධානතම හේතුවක් තමයි ඒ කාල සීමාවේදී අවශ්‍ය ශක්තිය ලබා ගන්න බැරි වෙන එක. යම් හේතුවක් නිසා වේගයෙන් හුස්ම ගන්න අපහසුයි නම් මොළයට ඉක්මණින් ඔක්සිජන් ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම කලින් කිව්වා වගේ නින්ද වෙනස් කරන යම් සාධකයක් තිබෙනවා නම්, මොළය අවදි වීමේ ක්‍රියාවලිය අනිසි විදිහට වේගවත් වීම නිසාත් හුස්ම ගැනීමේ අවහිරයක් නැතත්, අවශ්‍ය ඔක්සිජන් සපයා ගන්න බැරි වෙන්න පුළුවන්.

මෙන්න මේ අවස්ථාවේ තමයි නිදි ආඝාතයට මුහුණ දෙන කාගේත් බියකරුම අත්දැකීම ආරම්භ වෙන්නේ. ස්වභාවික විදිහට අවදි වෙන අතරේ ඔක්සිජන් සැපයුම වැඩි කරගන්න බැරි නිසා මොළයට සිදු වෙන්නේ හෝර්මෝන හරහා උත්තේජනයක් ලබා ගන්නටයි. ඒ සඳහා මොළය අපි බිය වුණාම හදගැස්ම සහ හුස්ම ගැනීම වැඩි කරන ඇඩ්රිනලින් හෝර්මෝනය, අනිසි විදිහට යොදා ගන්නවා. බිහිසුණු දෙයක් සිහිනයක් විදිහට පෙන්වා ඔබව බිය කර, කෘත්‍රීමව ඇඩ්රිනලින් ශ්‍රාවය කරගෙන හුස්ම වේගවත් කර ගැනීමයි එවිට සිදු වෙන්නේ.

නමුත් මෙහි තිබෙන ගැටලුව තමයි මොළය තුළ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක්, එහෙමත් නැති නම් ෆීඩ්බැක් ලූප් (feedback loop) එකක් ඇති වෙන එක. ස්වභාවිකව ඕනෑම කෙනෙක් බය වෙන්නේ බියකරු මුහුණක් දැකීමෙන් නිසා මොළය භාවිතයට ගන්නේ ඒ වගේ සිහිනයක්. නමුත් ඒ වන විටත් හුස්ම වේගවත් කරගන්න උත්සාහ කරමින් ඉන්නා නිසා අපේ පපුවේ පේශිවල ඉබේම යම් තද වීමක් සිදු වෙනවා. මේ මොහොතේ ඔබේ බෙල්ල පිහිටා තිබෙන විදිහ අනුව ස්වරාලය අවහිර වෙලා නම් උගුරේ අවහිරයක් දැනීමත් සිදු වෙනවා.

මේ සංවේදන දෙකම අපේ මොළයට ආපහු ගිහින් අදාළ බිහිසුණු මුහුණ සහිත ජීවියා අපේ පපුව උඩ වාඩි වී සිටිනවා හෝ බෙල්ල හිර කරන්න උත්සාහ කරනවා සිහිනයෙන් පෙනෙන්න ගන්නවා. මොළයෙන් පෙන්වන දේ එයින්ම ඇති වෙන විවිධ සංවේදන නිසා ප්‍රතිපෝෂණය වෙන එක, එහෙමත් නැතිනම් ෆීඩ්බැක් එක නිසා තමයි නිදි ආඝාතය අවස්ථාවේ බියකරු මුහුණට අමතරව, යක්ෂයෙක් පපුවේ වාඩි වෙලා බෙල්ල හිර කරනවා වගේ දේවල් පෙනෙන්න පටන් ගන්නේ.

ඒ අවස්ථාව වන විට ඇත්තටම ඔබේ මොළයට ඉතාම ළඟින් පිහිටා ඇති ඇස්වල පේශි ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙලායි තිබෙන්නේ. මේ නිසා සැබෑවටම ඇස් දෙක ඇරලා බැලුවාමත් පපුව උඩ බිහිසුණු සතෙක් ඉන්න බවක් මොළයට සංවේදනය වෙනවා. සමහර විට ඇස් වගේම මොළයට ළඟින් ඇති කන්වල සංවේදනයත් දැනෙන්න ගන්නවා. ඇස් දෙකට පෙනෙන, කන්වලට අවට ශබ්ද ඇහෙන නිසා ඔබ නිදාගෙන ඉන්නා ස්ථානයේ අවට වටපිටාවත් ඒ මොහොතේ මොළයට සංවේදනය වෙනවා.

මේ නිසා ඇත්තටම එවිට සිදු වෙන්නේ ඔග්මෙන්ටඩ් රියැලිටි, එහෙමත් නැතිනම් AR වැඩසටහනක් වගේ ඔබට දකින්න තිබෙන වටපිටාව මතට මොළය විසින් බිහිසුණු ජීවියෙක් එක් කිරීමයි. එයින් ඇහැරුණ වෙලාවේ ඇත්තටම ඉන්න බිහිසුණු සතෙක් බෙල්ල මිරිකන්න හදනවා වගේ අත්දැකීමක් ඇති වෙනවා. සිහිනයක් දකිනවාට වඩා එය අතිශයින්ම යතාර්ථයට ලං වූ අත්දැකීමක්. නිදි ආඝාතය කෙනෙක් වඩාත්ම බිය කරන්න හේතු වෙන්නේ මේ වගේ ඇත්තටම සිදු වෙන ස්වභාවයක් දැනෙන එකයි.

කොහොම නමුත් මොළයට දුරින් ඇති අත් හා කකුල්වල පේශි, මහා ප්‍රාචීරය ආදී සිරුරේ අනෙක් ඉච්ඡානුග පේශි කිසිවක් ඒ වන විට ක්‍රියාකාරී වෙලා නැහැ. මේ නිසා ඔබ ඇස් දෙකෙන් පපුව උඩ සිටින බිහිසුණු සතා දැක්කත් අතපය කිසිවක් ක්‍රියා කරවන්න හෝ ශබ්ද නගා කෑ ගසන්න කිසිම හැකියාවක් නැහැ. මොකද හුස්ම ගැනීම අනිච්ඡානුග ක්‍රියාවක් වුණත් කෑ ගසන්න නම් ඉච්ඡානුගව මහා ප්‍රාචීරය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. තත්පර කිහිපයක කාලයක් පුරාවට මේ විදිහට අතපය කිසිවක් ක්‍රියා කරන්නේ නැතිව, කෑ ගහ ගන්න බැරිව, පපුව උඩ සිටින බිහිසුණු යක්ෂයා බෙල්ල හිර කරන විදිහ දිහා බලාගෙන ඉන්න ඔබට සිදු වෙනවා. එය සිහිනයක් නෙවෙයි, ඔබ ඔබේ විවෘත ඇස් දෙකෙන්ම දකින දෙයක්!

වචනයෙන් විස්තර කරන්න බැරි තරම් බියකරු මේ අත්දැකීම ලැබෙනකොට ඉක්මණින්ම ඇඩ්රිනලින් ශ්‍රාවය වෙලා හදගැස්ම සහ ශ්වසනය වේගවත් වෙමින් මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයෙනවා. එතකොට මොළය සම්පූර්ණයෙන්ම අවදි වෙලා අනෙක් ඉච්ඡානුග පේශිත් ක්‍රියාත්මක වෙනවා. පපුව උඩ හිටපු බියකරු සතාගේ දර්ශනයත් පහ වී යනවා. තත්පර කිහිපයකදී ඔබට සම්පූර්ණයෙන්ම අවදි වෙන්න පුළුවන්. නමුත් ලබපු අත්දැකීම නම් ආයෙත් කාලයක් යන තුරු අමතක කරන්න බැහැ. කෙනෙක් නිදි ආඝාතය අත් විඳින තුරු ඇත්තටම බය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන් නැහැ කියලත් කතාවක් තියෙන්නේ මේ බිහිසුණු බව නිසාමයි.

නිදි ආඝාත වැඩිපුරම ඇති වෙන්නේ නිතර නිදි මරන, ප්‍රමාණයට වඩා මනස වෙහෙසවන සහ විවිධ බාධාවන් මැද්දේ නිතර නිදා ගන්නා අයටයි. ඒ වගේම උඩුබැලි අතට නිදාගෙන ඉන්නා අවස්ථාවලත්, විශේෂයෙන්ම උස කොට්ට තබාගෙන හෝ වෙනත් ආකාරයකින් උගුර සිර වන විදිහට බෙල්ල නවාගෙන ඉන්න අවස්ථාවලත් මෙය ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා එවැනි අවස්ථා මග හරවාගෙන, නිතර හොඳ නින්දක් ලබාගෙන, නිදි ආඝාතයට මුහුණ දෙන්න සිදු වෙන එක වළක්වා ගන්න පුළුවන්.

අවසාන වශයෙන් නිදි ආඝාතය කියන්නෙත් අපේ මිනිස් මොළය ක්‍රියා කරන විශ්මිත ආකාරයේ ප්‍රතිඵලයක් බව කියන්නම ඕන. සමහර වෙලාවට අපේම මොළය එයට අවශ්‍ය ඔක්සිජන් සපයා ගන්න අපිව උවමනාවෙන්ම බිය ගැන්වීමක් වුණත් සිදු කරනවා. එය පරිණාමයෙන් අපිට ලැබුණු අනිසි හැකියාවක් කියලත් හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම බැලුවාම මොළයට ඒ වගේ දෙයක් කරන්න සිදු වෙන තරමට එයට වද දෙන එක අපේත් වැරැද්දක්.

ඉතින් ඔබත් පුළුවන් තරම් නිදි ආඝාත ඇති වන තත්ත්ව මග හරවා ගන්න බලන්න. එය කවදාවත් අත් විඳලා නැති නම් ඔබ ඇත්තටම වාසනාවන්තයි. එකවරක් හරි නිදි ආඝාතයක් අත් වින්දොත් ඒ ඇයි කියන එක ඔබට හොඳටම තේරේවි.

 

Leave a Reply

Your email address will not be published.

Back to top button