ගොසිප් පුවත්

මම ශක්තිමත් වුනේ මගේ පුතා දිහා බලලයි – අමල් පෙරේරා

“මම ශක්තිමත් වුනේ මගේ පුතා දිහා බලලයි..”

“ඒ දේවල්වලින් පැනලා යන්න බැහැ..”

මීට මාස කීපයකට පෙර දී සනුක වික්‍රමසිංහ රචනා කොට සංගීතවත් කළ දැකුම්කළු සෙවණැල්ලේ ගීතය නිකුත් කළා. දැන් ‘හාදු සුළඟ’. මෙම ගීතය ලිව්ව ධනුෂ්ක ප්‍රනාන්දු මල්ලි ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. සංගීතවත් කළේ සුගත් හෙට්ටිආරච්චි මල්ලි. ඇත්තම කිව්වොත් අද මෙම ගීතයට ලැබෙන්නෙ ඉතා හොඳ ප්‍රතිචාර.


අමල්ගේ මේ කී වැනි ගී නිර්මාණය ද?
ගණන් බලා නැහැ. ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.

හරි, අමල්, අපි ඇහුවොත් කොහොමද ජීවිතය කියලා?
ආයෙත් කොවිඩ් ප්‍රශ්නෙට අපි ඔක්කොමලා මුහුණ දෙන කාලයක් මේ. පසුගිය දිනවල ‘හිරු ස්ටාර්’ සමග කාර්යබහුල වුණා. එහි විනිශ්චයට අමතරව තරගකරුවන් වෙනුවෙන් පැවැත් වූ වැඩමුළුවලටත් ද‌ායක වුණා. ඒ හැර මේ පවතින තත්ත්වය එක්ක සංගීත ප්‍රසංග නම් නැහැ.

අමල්, පසුගිය කාලයේ ඔබගේ ජීවිතය ගැන ආපස්සට හැරී බැලුවොත්?
මම හිතන්නේ ජීවිතයේ හැලහැප්පීම් බොහොමයකට මුහුණ දුන්නා. ඒවාට අපි මුහුණ දෙන්න ඕනෑ. මොකද ජීවිතයේ හැටි එහෙමනෙ. ජීවිතය ගලා යන්නෙ හැල හැප්පීම් එක්කයි. අපට ඒවායින් පලා යන්නට බැහැ. මම ඒ හැලහැප්පීම්වලට ශක්තිමත්ව මුහුණ දුන්නා.

මතුපිටින් දකිනවාට වඩා ‘අමල්’ කියන්නෙ ඇතුළාන්තයෙන් බොහොම සංවේදී චරිතයක් කියලයි ඔබ වටා සිටින බොහෝ දෙනා කියන්නෙ. ඉතින් ජීවිතයට හැලහැප්පීම් එද්දී ඒවාට ශක්තිමත්ව මුහුණ දුන්නෙ කොහොමද?
ජීවිතයෙ මම බෙහෙවින්ම ශක්තිමත් වුණේ පුතා නිසයි. එයාගෙ ජීවිතය මම. ඒ නිසා පුතා ඉදිරියේ දී මට වැටෙන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම වුණා නම් එයා ශක්තිමත් වෙන්නේ නැහැ. එයා ඉදිරියේ දී හිනාවෙලා සැහැල්ලුවෙන් හිටියා. එහෙම නොවී මම මානසිකව වැටුණේ නම් පුතාගේ ජීවිතය ඉබේටම කඩා වැටෙනවා. එයාට අත්දැකීම් අඩුයි. ඒ හැරත් ජීවිතය පටන් ගත්තා විතරයි. ඒ නිසා මම කොහොම හරි ඒ අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දුන්නා. කොහොමටත් තාත්තා කෙනෙක් එහෙම විය යුතුය කියලයි මම හිතන්නේ.

පුතාගෙ හැකියාවන් අද දකිද්දී, ඔබට මොනවද හිතෙන්නේ?
පුතා ගැන ලොකු සතුටක් තියෙන්නෙ. කොහොමටත් එයා කුඩා කාලයේ ඉඳලාම සංගීතයට ළැදිව කටයුතු කරන අයුරු මම බලාගෙන හිටියා. එයාගෙ සංගීත කටයුතු වගේම අධ්‍යාපනය ඇතුළු සියලු දේ ගැන මම සොයා බැලුවා. ඇත්තටම කිව්වොත් මට වැඩිය ඒ සියලු දේ ගැන සොයා බලා වෙහෙස මහන්සිවෙලා කටයුතු කළේ එයාගේ ‘අම්මා’. කොහොම හරි ඉතින් පුතා ආ ගමන ගැන සතුටුයි. හැබැයි මෙච්චර ඉක්මනටම මේ තරම් ස්ථාවර තත්ත්වයක් හද‌ාගනීවි කියලා නම් හිතුවේ නැහැ. එයාගෙ දක්ෂතාවය එක්ක ඒ ස්ථාවරය හද‌ාගත්ත බව පෙනෙනවා.

පුතා ඔබ මෙන් ‘සංගීත’ ක්ෂේත්‍රයේ කටයුතු නොකළේ නම් මොන වගේ රස්සාවක් කරාවිද? ඔබ ආසා කළේ ඔහු මොන වගේ ක්ෂේත්‍රයකින් ඉහළට යනවාට ද?
මගේ තාත්තා වගේම මමත් දරුවන් ගැන එහෙම මේ දේ කළ යුතුය කියලා හිතුවෙ නැහැ. මගේ තාත්තා මම සංගීත කටයුතුවල යෙදෙනවාට කැමැති වුණා. ඒ වගේම මගේ පුතත්, ගීත ගයනවාට, සංගීතය කරනවාට මම කැමැති වුණා. ඒක පවුලේ ‘ලේත්’ එක්ක එන දෙයක්නෙ. හැබැයි කොහොම වුණත් අපේ තාත්තා වෙනුවෙන් මට ඉගෙනීමෙන් බොහෝ දේ කර ඔහුව සතුටු කරන්න බැරි වුණා. ඉගෙනීමට මම එච්චර දක්ෂයෙක් වුණෙත් නැහැ. ඒත් පුතා නම් සංගීතයයි ඉගෙනීමයි දෙකම හොඳට කළා. තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළට වගේම කළමනාකරණ අංශයෙන් ද උසස් අධ්‍යාපනය ලැබුවා.

‘ලේ’ උරුමයෙන් ලද සංගීත ඥ‌ානය ඔබට පිහිටියේ නැතිනම් ඔබ මොන වගේ රස්සාවක් කරාවි ද?
ඔය ප්‍රශ්නයට මට කලින් එහෙම නම් තාත්තාගෙන් අහන්නයි තිබුණේ. මොකද තාත්තා සංගීතය නොකළා නම් මොනවද කරන්න තිබුණෙ කියලා? තාත්තාගෙ ආත්මයෙන් ආ දේ තමයි පුතාලා කරන්නෙත්. ඒක ආයේ කතා දෙකක් නැහැ. තාත්තාගෙන් ලද ද‌ායාදය තමයි මට මේ උරුම වුණේ.

අමල්, වෙලාවකට ටිකක් පෙරළිකාරයෙක් වගෙයි පෙනෙන්නේ? ඔබට හැඟෙන විදියට ඔබගෙ සැබෑ චරිතය මොන වගේ ද?
මගේ ජීවිතයේ දී මම නිතරම තව කෙනෙකුට හොඳ යාළුවෙක්. එතැන දී පුද්ගලයා කවුද කියලා කියනවාට වඩා මගේ යාළුකම සියයට සියයක්ම දෙන කෙනෙක්. ඒ විදියට ජීවත්වන මම නිතරම උත්සාහ ගන්නෙ තව කෙනෙකුට කරදරයක් නොවන විදියට ජීවත් වීමටයි. ගෙදරට විතරක් වෙලාවකට මම කරදරකාරයෙක් වෙන්න ඇති. හැබැයි බාහිර සමාජයට හෝ වෙනත් කිසිවෙකුට මම කවද‌ාවත් කරදරයක් නම් වෙලා නැහැ. ජීවිතයේ අපට යාළුවෝ ඕනෑ තරම් ඉන්න පුළුවන්. හැබැයි ඒ කවුරුවත් අපේ ජීවිතවල හැලහැප්පීම්වලට වග කියන්න ඕනෑ නැහැ. මම බොහෝ වෙලාවට මා ගැන සුබවාදීව හිතනවාට වඩා යාළුවෝ ගැන සුබවාදීව හිතන කෙනෙක්. අනෙක් කෙනාගෙ දියුණුව සතුටට ආශිර්වාද කරන කෙනෙක් මම.

මේ කොරෝනා සමග පවතින ස්වභාවය ඔබට දැනෙන්නෙ හැඟෙන්නෙ කොහොමද?
අපි සෑම දෙනාම නිතරම අපි අපේ ආරක්ෂාව සපයා ගෙන කටයුතු කිරීම තමයි මූලිකවම වැදගත් වන්නේ. අපි අපේ ආරක්ෂාව සලසා ගැනීමෙන් ඉබේටම අනෙක් අයගේ ආරක්ෂාවත් රැකෙනවා. සියලුම දෙනා තම තමුන් ගැන හිතලා ආරක්ෂාකාරීව සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කළොත් අපට ඉක්මනට මේ වසංගත තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් වේවි.

ගෙදර අය එක්ක වැඩිපුර කාලය ගත කරන්නට ලැබුණු මේ මොහොතේ ‘අමල්’ ගෙදර සිට කොහොමද දවස ගෙවන්නේ?
ගෙදර අය එක්ක වෙනදට වඩා වැඩිපුර කාලය ගත කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ විදියට එයාලා එක්ක දවස ගත කිරීම හැර විශේෂ දේ සිදුවෙන්නෙ නැහැ.

මේ විදියට ගෙදරට වෙලා සිටින අතරතුරේ ගිටාරය අතට ගත්තාම එක්වරම ‘අමල්’ ට ගයන්න හිතෙන්නේ මොන ගීතය ද? ඔබගේ ගී අතරින්?
මට නම් ගිටාරය ගත්තාම මගේ ගීත නෙවෙයි ගැයෙන්නෙ. වෙනත් ශිල්පීන්ගෙ ගීත තමයි ගැයෙන්නෙ. ඒ වගේ වෙලාවල දී මිල්ටන් මල්ලවආරච්චි සහ රූකාන්ත ප්‍රවීනයින්ගේ ගීත තමයි වැඩිපුර ගැයෙන්නෙ. ඊට අමතරව වික්ටර් රත්නායකයන්ගෙ ගීතත් ගයනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා විශේෂත්වයකුත් නැහැ.

රනිල් මල්ලවආරච්චි, නලින් පෙරේරා සහ ඔබගෙ උපන් දිනය එකම දවසකට යෙදෙන්නෙ. මේ යාළුවෝ තුන්දෙනා කවද‌ාහරි එකට එක්ව මේ උපන් දිනය සමරලා තියෙනව ද?
අපි තුන්දෙනා තුන් තැනකනෙ ඉන්නෙ. ඒ නිසා එකතුවෙලා සමරන්න ලැබුණු අවස්ථා නම් අඩුයි. හැබැයි උපන්දිනය දවසේ, නලින් සහ රනිල් මට සුබපතද්දී, එසේම වේවා කියලා මට කියන්න පුළුවනි. උපන් දිනයකට එසේම වේවා කියන්න ලැබෙන්නෙත් කලාතුරකින්නෙ. අපි තුන් දෙනාට තුන්දෙනා ‘Same to you’ කියා ගන්නවා.

‘අමල්’ ජීවිතය කියන්නෙ මොකක් ද?
ජීවිතය කියන්නෙ නිතරම අපි හිතන විදියටම හොඳින්ම තියෙන දෙයක් නෙවෙයිනෙ. ජීවිතය හමුවේ එන හොඳ නරක සියල්ලට මුහුණ දීමට තරම් ශක්තිමත් වීම තමයි වැදගත්. හොඳ – නරක, යහපත – අයහපත, ගුණ – දහම්, රණ්ඩු – සරුවල් මේ වගේ සම්මිශ්‍රණයකින් තමයි ජීවිතය ගලා යන්නෙ. ජීවිතය විඳින්න ලැබෙන්නේ ඒ සියල්ල සමගයි. ඒවා එක හා සමානව විඳ ගැනීම තමයි කළ යුත්තේ.

සඳුන් ගමගේ

 

ලංකාදීප – සඳැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button