දේශීය පුවත්

මත්පැන් සඳහා වන ස්ටිකර් ව්‍යාපෘතිය කල් යයි

මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහතික කිරීම සඳහා විශේෂ කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවලිය එළැඹෙන ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.

2021 ජූලි 01 වැනිදා සිට මෙම ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ආරම්භ කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබුණු නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පැන නැගුණු ප්‍රායෝගික ගැටලු මත එහි ආරම්භය කල් යනු ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

​මෙම ස්ටිකර් ඇලවීමේ ව්‍යාපෘතිය භාරදී ඇති ඉන්දීය සමාගම අසාදු ලේඛනගත කර ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් විශේෂ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මත්පැන් බෝතල්වල ඇලවීමට නියමිත ස්ටිකර් පරීක්ෂා කිරීම සඳහා සුරාබදු නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් විශේෂ කේත පරීක්ෂණ යන්ත්‍ර (BarCorde Readers) 100කට වැඩි සංඛ්‍යාවක් සිය දෙපාර්තමේන්තුවට ලබාදීමට සූදානම් බවද ස්ටිකර්වල අන්තර්ගත කේතයන් පරීක්ෂා කිරීම සඳහා සකස් කෙරුණු විශේෂ දුරකථන යෙදුමක් (App) කඩිනමින් පාරිභෝගිකයන් වෙතද ලබාදෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Back to top button