දේශීය පුවත්

අල් ජසීරා හෙළිකළ ක්‍රිකට් වංචා විමර්ශන අත්හැර දමයි

අල් ජසීරා රූපවාහිනී සේවයෙන් විකාශය කරන ලද වැඩසටහන්නකින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ අත්තජාතික ක්‍රිකට් සභාව, ඊට සම්බන්ධ වූයේ යැයි චෝදනාවට ලක්වූ පස්දෙනාම නිදහස්කර තිබේ. 2018 මැයි මස 27 වැනිදා විකාශය වූම් වැඩසටහන, ක්‍රිකට් ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්විය. මෙම වැඩසටහනින් චෝදනාවට ලක්වූ පස්දෙනා අතර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ද සිටිති. එහෙත් තරග පාවාදීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වූ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නොනැගෙනු ඇත.

අල් ජසීරා රූපවාහිනි සේවයේ විශේෂාංගයක් වූ මෙම වැඩසටහනට අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කළ දෙදෙනකුටද තරග පාවාදීමේ චෝදනා එල්ල විය. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් කරන ලද විමර්ශනයේදී ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමුවී නොතිබිණ.

“ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිදුවන දූෂණ ක්‍රියාකාරකම් වාර්තා කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. එහෙත් මෙම වැඩසටහනේ විකාශනය වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සෑහීමට පත්වීමට තරම් කරුණු නොතිබිණ. අප විසින් විමර්ශනය කරන ලද සෑම අංශයකින්ම හෙළිවූයේ එම වැඩසටහනට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මූලික දුර්වලතා පැවැති බවයි. එවැන්නක් මගින් කිසිවකුට චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සහ සාධක නොමැති බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ, සිව් දෙනකුගෙන් සමන්විත, ස්වාධීන කමිටුවේ මතයයි” යයි සාධාරණ ක්‍රීඩාවක් සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“මේ වැඩසටහනේ ස්වභාවය අනුව, ඊට සහභාගි වූවන්ගේ හැසිරීම ප්‍රශ්නකාරියි. ඒත් දෘශ්‍යපටයේ දැක්වුණ දෙබස් ඇරුණාම එතැනින් ඔබට ඔවුන් අතර පැවැති සාකච්ඡා මොනවාද යන්න අපට සොයාගත නොහැකියි. ඒ තත්ත්වය අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නියෝග ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි සොයාගත නොහැකියි” “ඒත් දැනට පවතින තත්වය අනුව, එම විමර්ශන කළ ආකාරය සම්බන්ධයෙන් මා සෑහීමට පත්වන අතරම මෙම විමර්ශන මෙතැනින් අවසන් කිරීමට අදහස් කරමි. එත් වඩාත් සවිමත් පදනමක් සහිත සාක්ෂි ලැබෙනවා නම් මා මෙම පරීක්‍ෂණය නැවතත් ආරම්භ කරනවා.” යයිද ඇලෙක්සි මාෂල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පරීක්‍ෂණ නවත්වන බවට තමන්ට දැනුම් දී ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත, ක්‍රීඩා වැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය තවදුරටත් මෙම පරික්‍ෂණවල යෙදෙන බව එහි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ සඳහා සංස්කරණය නොකළ පටිගතකිරීම අන්තර්ජාතික පොලිසිය හරහා ලබාගැනීමට තමන් උත්සාහ කරන බවද ෆොන්සේකා මහතා පැවසීය.

Back to top button