ක්‍රීඩා පුවත්

වසර 125ක් සපිරුණු නූතන ඔලිම්පික් උළෙල

ලොව අති උත්කර්ෂවත් ක්‍රීඩා සැණකෙළිය වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කර ඊයේ (06) වනවිට වසර 125ක් සපිරේ.මෙහි ආරම්භය වර්ෂ 1896දී සිදුවිය.1896 වසරේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භ විය.පියරේ ඩී. කුබර්ටන් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිර්මාතෘවරයා ලෙස සැලකේ.
පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල දින 10ක් පුරා පවත්වා තිබේ.

එහිදී රටවල් 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 241ක් දෙනෙකු තරග ඉසව් 43ක් සඳහා සහභාගී වී තිබෙන අතර තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ අමෙරිකාවේ ජේම්ස් කොනොලි නූතන ක්‍රීඩා උළෙලේ පළමු ඔලිම්පික් ශූරයා බවට පත්වුණි.නූතන ඔලිම්පික් උළෙලට සමගාමීව නව ලාංඡනයක්ද හඳුන්වාදෙනු ලැබීය.එය කළු, නිල්, කහ, කොළ සහ රතු වර්ණයන් ගෙන් යුත් එකිනෙකට සම්බන්ධ වූ වළලු 5කින් සමන්විත වන අතර ලෝකයේ මහාද්වීප 5 – යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව මෙමඟින් සංකේතවත් කරනු ලබයි.

මෙම ක්‍රීඩා මංගල්‍යය සිව් වසරකට වරක් අතිඋත්කර්ශවත් අයුරින් පැවැත් වෙන අතර ගෙවුණු වසර 125ක කාලයේදී උළෙල අවලංගු වී ඇත්තේ අවස්ථා තුනකදී පමණි.කෙසේ වෙතත් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල්දැමීමට සිදු වු අතර එය ඉතිහාසයට එක් වුණේ වසර 125 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ලෝක යුද වාතාවරණයක් නොමැති සමයක ඔලිම්පික් ක්‍රීඩා උත්සවය කල් දමන ලද ප්‍රථම අවස්ථාව ලෙසය.මේ අතර, මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවන බව උතුරු කොරියාව පවසයි.සිය රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් උතුරු කොරියානු රජය මෙම පියවර ගෙන තිබේ.ඒ අනුව, කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහභාගී නොවන බව ප්‍රකාශයට පත් කළ පළමු රට උතුරු කොරියාව වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button