09 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද උදෑසන 9.30ට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද (20) සිදුවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03 ට එය ආරම්භවීමට නියමිතය.
ඊට පෙර පෙරවරු 9.30 ට නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වන අතර, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 01 ට අනුකූලව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවේ.
අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම සිදුකිරීමට නියමිතව ඇත.
නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අනතුරුව සිදුවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
අද පත්කර ගැනීමට නියමිතව ඇත්තේ මෙරට 11 වන කථානායකවරයා වේ.
09 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම ඊයේ (19) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී තිබේ.
නියෝජ්‍ය කථානායකවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාද නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතාද පත් කිරීමට එකගතාවය පළවී ඇති අතර පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට එහිදී තීරණය වී ඇත.