සෞම්‍ය ලියනගේට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තනතුරු අහිමි වේ
Saumya Liyanage loses her post at the University of Aesthetics

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව විද්‍යාලයේ දැරූ එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයකු ලෙස පත්වීමෙන් පසු වසර අටක පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය) උපාධි සුදුසුකම එම කාලසීමාව තුළ සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇතැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කළ විමසුමකදී පැවසීය.

ඔහු පත්වීම ලැබූ දා සිට වසර 8ක් අවසන්වීමට පෙර එනම් 2014 වසරේදී මෙම සුදුසුකම සපුරාලිය යුතුව තිබුණත් එය සපුරා නැතැයි ද විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කළේය.
එසේ සුදුසුකම් සපුරා නොතිබියදීත් විශ්ව විද්‍යාලයේ හිටපු පාලනාධිකාරය මගින් 2015 වසරේ දී සුදුසුකම සපුරාලිය යුතු දිනය මාස 7කින් ඉදිරියට ගෙන ඔහුට උසස්වීම් ලබාදී ඇතැයි ද අබේරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙය වැරදි ආකාරයෙන් ලබාදුන් උසස්වීමක් නිසා එය නිවැරදි කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන ඇතැයි ද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා කීවේය.
මෙය 2015 වසරේ සිටි පාලනාධිකාරිය ගත් වැරදි තීන්දුවක් නිවැරදි කිරීමක් බව කී මහාචාර්යවරයා ඒ අනුව සෞම්‍ය ලියනගේ මහතා යළිත් කථිකාචාර්ය තනතුරට පත්ව ඇති බවත්, ඔහුට ඉදිරියේදී යළිත් ඉල්ලුම් කර නිසි ක්‍රියාපටිපාටිය අනුව අහිමි වූ තනතුරු ලබාගැනීමේ හැකියාවක් පවතින බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් සෞම්‍ය ලියනගේ මහතා තනතුරුවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙන අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ විශ්ව විද්‍යාල පාලක සභාවට සිදුවූ වරදක් සොයා ගැනීමට වසර හයක් ගත වී ඇති බවයි.
ඒ කාලය තුළ සෞම්‍ය ලියනගේ මහතා පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති සෞම්‍ය ලියනගේ මහතා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් නිර්මාණාත්මක කලාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ඔහු සම්මානලාභී දක්‍ෂ රංගන ශිල්පියකු ද වේ.