දේශීය පුවත්

සාගර දූෂණය අතින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ

සාගරයට අපද්‍රව්‍ය බැහැර කරන අපකීර්තිමත් රාජ්‍යයන් අතර ශ්‍රී  ලංකාවට තුන්වැනි ස්ථානය හිමිව තිබේ. සුබවාදී කීර්තිනාමයක් හිමිවූ විට ඕනෑවටත් වඩා උඩ පනින අපේ රටේ වගකිවයුත්තෝ අප සාගර දූෂණය අතින් අංක 03 හිමි කරගන්නා විට නොඇසූ කන් ඇතිව සිටිති. ඇත්ත වශයෙන්ම එය ලජ්ජා සහගත තත්ත්වයකි.
2015 වර්ෂයේ පළවූ වාර්තාවකට අනුව ශ්‍රී  ලංකාව සාගර දූෂණය කරන රටවල් අතර පසුවූයේ 05 වැනි ස්ථානයේය. එවර චීනය ප්‍රථම ස්ථානයටත්, ඉන්දුනීසියාව දෙවැනි ස්ථානයටත්, මැලේසියාව සහ තායිලන්තය 03 සහ 04 වැනි ස්ථානවලටත් පැමිණ තිබිණි. ඉන්දීය සයුරට වැඩිම අපද්‍රව්‍ය එක් කරන රාජ්‍යය ලෙස අපට කළු පැල්ලමක් වැටී තිබේ.


සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී  ලංකාව සමුද්‍ර දූෂණය වැළැක්වීම පාලනය සහ කළමනාකරණය කිරීමේ පූර්ණ වගකීම් සහිත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අන්තර්ජාතික ප්‍රඥප්තීන් ගණනාවකට අස්සන් තබා ඇතත් ඒ සියල්ල බිඳ දමමින් දිවයින වටා මුහුදු තීරය අපද්‍රව්‍යහරණයට ඉඩ දී තිබේ.
බරපතළම දූෂණකාරකය වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍යයි. සෑම වසරකම ලෝකය විසින් ප්ලාස්ටික් ටොන් මිලියන 300ක් නිපදවන අතර ඉන් ටොන් මිලියන 8.8ක් සාගරයට දමනු ලැබේ. එය අවම වශයෙන් ගණනය කළහොත් ප්ලාස්ටික් බෝතල් බිලියන 40ක්, තනි භාවිත ප්ලාස්ටික් බෑග් බිලියන 100ක්, පෞද්ගලික සත්කාරක භාණ්ඩ මිලියන 522කි. මෙය ප්ලාස්ටික් ටොන් 2,70,000කි. එය මහද්වීපික තටාකය මත පාවෙමින් තිබේ. මයිකේ‍රාප්ලාස්ටික් අංශු මිලියන ගණනක් අංශු වශයෙන් බිඳී ගිය විට තනි කැබලි ටිලියන 05කට වඩා වැඩි බව සාගර දූෂණය පිළිබඳ විද්‍යාඥවරියකු වූ මහාචාර්ය ජෙනා ආර්. ජම්බෙක් සඳහන් කර ඇත. ඇය ගංගා සහ විශේෂිත ජල මාර්ගවලින් සාගරයට ගෙන යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ස්කන්ධය ඇස්තමේන්තු කර ඇත. දැනට ගණනයකර ඇති අන්දමට ප්ලාස්ටික් දූෂණය හේතුවෙන් සමුද්‍ර ජීව විශේෂ 700ක් පමණ වඳවීමේ තර්ජනයට ඍජුවම මුහුණ දී සිටී.
ප්‍රශ්නයේ බරපතළකම වටහා ගන්නට හොඳම නිදර්ශනය වන්නේ මිනිසුන් විසින් එක් වසරකදී සාගරයට ප්ලාස්ටික් මෙට්ට්‍රික් ටොන් මිලියන 155ක් එකතු කරන බව ගණන් බලා තිබීමයි. ලොව විශාලතම සාගර කසළ කන්ද ලෙස සැලකෙන The Greay Pacific Garbage Patch මහා පැසිපික් කුණු කන්ද තනිකරම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් නිර්මාණය වූවකි. එය හවායි සහ කැලිෆෝනියාව අතර මධ්‍යම උතුරු පැසිපික් සාගරයේ පිහිටා ඇති අතර සාගර විද්‍යාඥයකු වූ චාල්ස් මුවර් විසින් ප්‍රථමවරට සොයා ගන්නා ලද්දකි.
පැසිපික් ප්ලාස්ටික් කුණු කන්ද වර්ග කිලෝමීටර් 6,000ක් විශාලය. පාවෙන දූපතක් වූ එය ප්‍රමාණනේ ප්‍රංශයට වඩා විශාලය. මහද්වීපික තටකයට තුළ එවැනි කුණු කඳු 05ක් තිබෙන බව සොයාගෙන ඇත. උතුරු සහ දකුණු පැසිපික් කුණු කඳු උතුරු සහ දකුණු අත්ලන්තික් සාගරයේ සහ ඉන්දියන් සාගරයේ එවැනි විශාල ප්ලාස්ටික් කුණු කඳු පහක් පාවෙමින් තිබේ.
ප්ලාස්ටික් සුන්බුන් නිසා සෑම වසරකම මුහුදු පක්ෂීන් මිලියනයකට වඩා මියයන අතර අතර සමුද්‍ර ක්ෂීරපායින් ලක්ෂයකට වඩා මියයති. ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා ආහාර ජීර්ණ පද්ධති විනාශවීම හා මුහුදේ අවතාර ලෙස පාවෙන දැල් ආම්පන්නවල සිරවීම නිසාද කැස්බෑවන් වැනි මුහුදු ජීවීන් විනාශ වේ.
එපමණක් නොව ප්ලාස්ටික් විස ශරීර ගතවූ මුහුදු ජීවින් අනුභවය නිසා මිනිස් සිරුරට බැර ලෝහ විස රසායනික ඇතුළු වීමෙන් පිළිකා, සහ වකුගඩු රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළයයි.
ශ්‍රී  ලංකාවේ දකුණු වෙරළේ හික්කඩුව ධීවර වරාය ආශ්‍රිතව අප කළ සමීක්ෂණයකින් හෙළි වූයේ බහුදින යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා පිටත්ව යෑමට ප්‍රථම එයට ප්ලාස්ටික් ජල බෝතල් විශාල ප්‍රමාණයක් පටවන අන්දමය.එම ප්‍රමාණය දළ වශයෙන් ගණනය කළහොත් ඩිමෝ බට්ටා කුඩා ලොරි රථයකින් එකකි. හික්කඩුව වරායෙන් බහු දින යාත්‍රා 10ක් ගමන් ආරම්භ කළහොත් ගෙනයන ජලබෝතල් සංඛ්‍යාව ලොරි 10කි. ඒවා නැවැත ගොඩබිම කරා රැගෙන එන්නේ නැත. බේරුවල, මීගමුව, අම්බලන්ගොඩ, හික්කඩුව, මිරිස්ස, දෙවිනුවර, කුඩාවැල්ල ආදි දකුණු වෙරළේ ධීවර වරායන්ගෙන් පමණක් කොපමණ ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයක් මහා සාගරයට එක් කරුණු ඇද්ද? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධව විධිමත් පරීක්ෂාවක් සිදු නොකිරීම බරපතළ අපරාධයකි.
මෑත අතීතයේ සෑම බහුදින ධීවර යාත්‍රාවකම ජලය රැගෙන යෑම පිණිස ප්‍රමාණවත් ජල ටැංකි යාත්‍රාව තුළම නිෂ්පාදනය කර තිබිණි. ගමන ආරම්භයට ප්‍රථම එම ටැංකි පිරිසුදු ජලයෙන් පුරවා ගන්නා ලදී. එහෙත් පසු කලෙක ජල බෝතල් කරළියට පැමිණි විට ටැංකි ඉවත් කොට ජල බෝතල් රැගෙන යෑමේ පුරුද්ද ඇති විය. දැන් ශ්‍රී  ලංකාවෙන් යාත්‍රා දහසක් පිටත්ව ගියත් ඒවා නැවැත වරයයන්ට ළඟා වන්නේ ප්ලාස්ටික් බෝතල් ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් සමුදුර වෙත මුදා හැරීමෙන් පසුවය. එම ප්‍රමාණය අවුරුද්දේ මාස 12න් වැඩි කළහොත් ලැබෙන පිළිතුර තිගැස්සෙනසුලුය. අප දායක වෙමින් සිටින්නේ තවත් විනාශකාරී ප්ලාස්ටික් කන්දක් නිර්මාණය කරනු පිණිසය.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාව (Marin Biology) උපාධිධාරිනියක වූ වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දියණිය විනුරි සිල්වා අප ආහාරයට ගන්නා කුඩු මසුන්ගේ සිරුරේ ඇති ප්ලාස්ටික් සංයුතීන් පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඇගේ පර්යේෂණයට පාදක කරගෙන තිබුණේ ශ්‍රී  ලංකාව ආශ්‍රිත මුහුද කලාපයේ කුඩා මත්ස්‍ය විශේෂයන්ය. එය මින් පෙර අවධානය යොමු නොවූ තේමාවකි. විනුරි සිල්වා තම පර්යේෂණය සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
“ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ මගේ පර්යේෂණයේදී මට සුපරීක්ෂක වුණේ මහාචාර්ය බේ‍රාචින් ගිලන්ඩේ මහත්මියයි. ශ්‍රී  ලංකාව ආශ්‍රිතව පර්යේෂණය සිදුකරන ලෙස උපදෙස් දුන්නේද ඇයයි. පර්යේෂණය ආරම්භ කළේ 2018 වසරේ මුල් භාගයේදී. “මයිකේ‍රා ප්ලාස්ටික්” කියන්නේ මිලිමීටර් 5කට වඩා කුඩා ප්ලාස්ටික් අංශුවලට. ඒවා සාමාන්‍ය ඇසට නොපෙනෙන තරම් කුඩායි. ප්ලාස්ටික් මුහුදු ජලයට එක් වූ විට ඒවා මුහුදු රැල්ල, උෂ්ණත්වය ආදී සාධක හේතු කොටගෙන කුඩා අංශු වශයෙන් බිඳෙනවා. ගොඩබිමේදී සිදුවනවාට වඩා අඩු වේගයකින් තමයි සාගර ජලයේදී ප්ලාස්ටික් දිරාපත් වීම සිදුවන්නේ. කුඩා ප්ලාස්ටික් අංශු මුහුදු ජලය මතුපිට පාවීමේදී ඒවා ආහාර ලෙස වැරදි වැටහීමක් ඇති කර ගන්නා මත්ස්‍යයන් විසින් එම ප්ලාස්ටික් අනුභවයට ගන්නවා.
මගේ පර්යේෂණයේදී ලංකාවේ සුලබ ලෙස පරිභෝජනයට ගන්නා මත්ස්‍ය වර්ග තුනක් නියදි වශයෙන් ලබාගත්තා. හාල්මැස්සා, හුරුල්ලා, සාලයා එම මසුන් වර්ග තුනයි. ශ්‍රී  ලංකාවේ ධීවර කලාප තුනකින් අහඹු ලෙස ලබාගත් මසුන් 160ක් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේදී පර්යේෂණයට භාජන කළා. අප යොදාගත් මසුන්ගෙන් 95%කම මයිකේ‍රා් ප්ලාස්ටික් අඩංගු බව මෙහිදී නිරීක්ෂණය වුණා. එම ප්ලාස්ටික් ගණනය කළ විට 0-23% අතර ප්‍රමාණයක් මසුන්ගේ සිරුරේ අඩංගු බව ප්‍රත්‍යක්ෂ වුණා. ත්‍රිකුණාමලයෙන් ගත් එක් හාල්මැස්සකුගේ ප්ලාස්ටික් කැබලි 23ක් තිබුණා. අප එක් වේලකදී ආහාරයට ගන්නා හාල්මැස්සන් ගණන අනුව අපේ සිරුරට එක් ආහාර වේලකදී ඇතුළු වන ප්ලාස්ටික් ප්‍රමාණය ඒ අනුව නිශ්චිතව දැක්වීමේ හැකියාව තිබෙනවා.
ශරීරගත මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණය අනුව අපේ සෞඛ්‍යයට එල්ල කරන තර්ජනය තක්සේරු කරන්න පුළුවන්. පිළිකා හැදෙන්න පුළුවන්. ශරීරයේ තිබෙන අත්‍යවශ්‍ය හෝමෝන වර්ග වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන වෙනම පර්යේෂණයන් සිදුකළ යුතුයි. චීනයේ හැරුණු විට වැඩිම ප්ලාස්ටික් අඩංගු මත්ස්‍ය විශේෂ අපේ සාගර කලාපයේ සිටිනවා. ශ්‍රී  ලංකාව අවිධිමත්ව සිදුකරන ප්ලාස්ටික් බැහැර කිරීම නිසා අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතා අනර්ථකාරී බලාපෑමක් එල්ල වෙනවා.
විනුරි සිල්වාගේ පර්යේෂණයෙන් මෙන්ම තවත් බොහෝ සාගර විද්‍යා ආයතන මඟින්ද සාගර දූෂණය නිසා දූපත් රාජ්‍යයක් ලෙස අප මුහුණදී සිටින අනතුරුදායක තත්ත්වය පැහැදිලි වෙන බව සඳහන් කළ යුතුයි.
පරිසර අමාත්‍යාංශය විසින් භාණ්ඩ අලෙවියේදී සැෂේ පැකට් නිපදවීම. ස්ට්‍රෝව් නිපදවීම, කොට්න් බට් නිපදවීම හා භාවිතය තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එය අලි යන පාරවල් තිබියදී ඉත්තෑ මංකඩ වසනවාට වැඩි යමක් නොවන බව සඳහන් කළ යුතුය.
උදේනි සමන් කුමාර

 

AV Rase
මව්බිම

2,257 Comments