දේශීය පුවත්

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කිරීම ගැන, ජනපති ගෝඨාභය කියූ කතාව

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරින්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමයක් සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

උපාධිධාරින් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර, හඳුන්වා දී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කළ යුතු බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර අත්තේ.

විදේශ රටවල අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීම සිදුවූ බවත්, සිහිපත් කළ ජනාධිපතිවරයා සිසුන් මෙතරම් පිරිසක් විදේශ ගතවීම යහපත් ලක්ෂණයක් නොවන බව ද සඳහන් කර තිබෙනවා.

සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තීය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් යළි විවෘත කරන දිනය පිලිබඳව මේ වනවිට රජය අවසන් තීන්දුවක් ගෙන නැහැ.

කෙසේ වෙතත්, පාසල් විවෘත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට කටයුතු යෙදූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානය යොමුව ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපයෝගි කර ගනිමින් පාසල් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳවයි.

ඒ අනුව, තම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වීමට කටයුතු කළ හැක්කේ කුමන ආකාරයට ද යන්න පිළිබඳව තීරණ ගැනීම සඳහා විදුහල්පතිවරුන්ට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button