දේශීය පුවත්

විදෙස් රටවල ඉන්න සංවිධානාත්මක අපරාධකරුවන් 14කට රතු නිවේදන

විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

“විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට විදේශයන්හි සැඟව සිටිනවා. එසේ විදේශයන්හි රැඳි සිටින අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපරාධකල්ලි සාමජිකයන් 14 දෙනෙකුට පසුගිය මාස දෙක තුළදී රතු නිවේදන ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටයුතු කළා.

මෙම 14 දෙනා මනුෂ්‍ය ඝාතනය, මත්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය සැකකරුවන්. ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. නම් දෙන්න අවස්ථාවක් නෑ. ඔවුන් අත්අඩංගුවට ගත් විට නම් ලබාදීමට කටයුතු කරනවා”

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයාගත් වත්කම් රාජසන්තක කිරීම වෙනුවෙන් තොරතුරු ලබාගැනීමට 1917 නමින් දුරකතන අංකයක් ස්ථාපිත කළා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කළා.

මේ දුරකතන අංකයට අපට අවශ්‍ය වෙන්නේ අපරාධ කල්ලි විවිධ අපරාධ කිරීමෙන්, මත්ද්‍රව්‍ය ජවාරම්කල්ලි විවිධ ජාවාරම් කිරීමෙන් උපයා ගත් වතකම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමයි.

අගෝස්තු මාසය තුළ මේ දුරකතන අංකයට තොරතුරු 671ක් ලැබිලා තිබෙනවා. මේ තොරතුරු 671ක තුළ අපේක්ෂා කරන තොරතුරු 110ක් තිබෙනවා. ඒ තොරතුරු 110 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කරනවා. අනිත් තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මීට අමතරව 1997 දරණ දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. මේ දුරකතන අංකයට අපි අපේක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව හා වෙනත් දූෂණ වැරදි පිළිබඳ තොරතුරු.

මේ අංකයට තොරතුරු 3800ට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. බස්නාහිර පළාත තුළ පසුගිය මාස දෙකක කාලය තුළ සුවිශේෂී මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදුකරනු ලැබුවා.

අපරාධකරුවන් උපයා ගත් වත්කම් විශාල ප්‍රමාණයක් හඳුනා ගත්තා. ඒ කාලය තුළදී එම පළාත තුළ පමණක් ඉඩම් දේපළ 12ක් අණාවරණය කරගෙන තිබෙනවා. ප්‍රමාණය පර්චස් 900ක් පමණ වෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 4000ක් පමණ වෙනවා.

මීට අමරතව සුඛෝපභෝගී මෝටර් රථ 12ක්, ත්‍රි රෝද රථ 7ක්, යතුරු පැදි 7ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒවත් රාජ සන්තක කිරීමේ ක්‍රියාවලිය සිදුවෙනවා.

ඊට අමතරව අපරාධකරුවන්ගේ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ බැංකු ගණුම් තුළ පසුගිය කාලයේදී රුපියල් මිලියන 2600කට අධික ප්‍රමාණයක මුදලක් සංසර්ණය වී තිබෙනවා.

ඒ බැංකු ගිණුම් තුළ තිබෙන රුපියල් මිලියන 90ක මුදලක් තහනම් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button