තරු හුට පට

වැටුණු තැනින් නැඟිටලා ගල්මුල්වලට වාර්තාවකින්ම උත්තර දුන්න ශලනි

Shalani got up from where she had fallen and answered the rocks with a report

මෙවර රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ඔබට සම්මාන ද්විත්වයක හිමිකාරිනියක් වෙන්න ලැබුණා. හොඳම තත්ත්වය සහ ජනප්‍රියත්වය සමබර කරගෙන ආපු ගමන ගැන ලොකු සතුටකින් ඇත්තේ?

ඇත්තටම ඒක ගොඩක් ලොකු සතුටක්. හොඳම රංගන ශිල්පිනියට සහ ජනප්‍රිය රංගන ශිල්පිනියට හිමි සම්මානය කියන සම්මාන දෙකම ලැබීම ගැන හිතේ තියෙන සතුට වචනවලින් කියන්න අමාරුයි.

AV Rase

බලාපොරොත්තු නොවුණු වෙලාවක බලාපොරොත්තු නොවුණු දෙයක් ලැබුණම ඒකත් වාර්තාවක් වුණාම දැනුණු සතුට කියලා නිම කරන්න බැහැ.

ජනප්‍රිය සම්මානය ඔබට නුහුරු නුපුරුදු නැහැ. හොඳම සම්මානය මේ සැරේ හරි ඔබට ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණෙම නැද්ද?

පහුගිය වර්ෂ කිහිපයේ එක දිගට හොඳම නිළිය සම්මානයට මගේ නම නිර්දේශ වුණු නිසා මොනම සම්මාන උළෙලකින් හරි හොඳම සම්මානයක් ලැබෙයි කියලා හිතුවා. බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් නොලැබුණත් මම දුක් වෙන්නේ නැහැ. සම්මානය ලැබෙන කෙනාව දැකලා මට සතුටුවෙන්න පුළුවන්. හොඳම නිළිය සම්මානයට මගේ නම නිර්දේශ වීම ගැනත් මම සතුටින් හිටියේ.

ඔබව හොඳම නිළිය කිරුළට ඔසවා තබන්නේ සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘අඩෝ’ ටෙලි නිර්මාණය. මෙය ඔබව ඒ තත්ත්වයට ගෙනෙයි කියලා මුලදිම හිතුවද?

මම චරිතයක් කරද්දී හොඳම සම්මානයට නිර්දේශ වෙන්න හිතාගෙන, සම්මාන ගන්න හිතාගෙන කරන්නේ නැහැ. චරිතයක් ලැබුණම චරිතය ගොඩනඟන විදිහ තමයි මුලින්ම හිතන්නේ. ඒක තමයි අමාරුම කොටස. අඩෝ ටෙලි නාට්‍යයේ කමනි කියන්නේ මට නුහුරු චරිතයක්.

ඇය ජීවත්වන පරිසරය, තරාතිරම, ඇයගේ විදිහ මට නුහුරුයි. කමනි විවාහක දරුවෝ ඉන්න කාන්තාවක්. ඒ චරිතයේ නුහුරු බව හුරු කර ගැනීමම මට අභියෝගයක් වුණා. නාට්‍ය විකාශය වෙන්න ගත්තම ලැබුණු ප්‍රතිචාර එක්ක මම හොඳම නිළිය සම්මානයට නිර්දේශ වෙයි කියලා හිතුණා. මේ සම්මානයට සමනලි ෆොන්සේකා අක්කත් නිර්දේශ වෙලා හිටියා.

මේ සැරේ සම්මානයක් ගමු කියලා තමයි ඇයත් මට කිව්වේ. ජයනි අක්කත් මාව ගොඩක් අගය කළා. නාට්‍යයක් කියන්නේ කණ්ඩායම් වැඩක්. නාට්‍යයේ මුළු කණ්ඩායමේම සහයෝගය මට මේ සම්මානය ගන්න බලපෑවා. ඒකයි මම කියන්නේ මේ සම්මානය අපේ කියලා.

හොඳම දේ ජනප්‍රිය දේ කරන එකත් හිතන තරම් පහසු නෑනේ. කොහොමද ඒ අමාරුම වැඩේ ඔබ කළේ?

ඇත්තටම ජනප්‍රිය සම්මානය ගැන මම බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. මම ජනප්‍රිය නිළිය වුණේ ප්‍රේක්ෂකයන්ගේ තීරණය මත. සම්මාන උළෙලට කලින් දවසේ තමයි ජනප්‍රිය නිළි ලැයිස්තුවේ දෙවැනි තැන මම ඉන්නවා කියලා දැනගත්තෙත්. 2009 ඉඳන් මේ වෙනකල් මම ජනප්‍රිය නිළි ලැයිස්තුවේ අන්තිම දහදෙනා අතර හිටියා.

මම මාව ජනප්‍රිය කරවන්න කියලා පෝස්ට් එකක්වත් ෂෙයාර් කළේ නැහැ. නමුත් තණමල්විල කොල්ලෙක් ෆේස්බුක් පේජ් එකේ මං වෙනුවෙන් කැම්පේන් එකක් ඒ අය ගෙනගිහින් තිබ්බා.

මම සම්බන්ධ නොවුණු නාට්‍යයක් වෙනුවෙන් හැදුණ පේජ් එකකින් මට 80%ක් විතර මනාප පළ කරලා තියෙනවා දකිද්දී ඒක මට සම්මානයක් දින්නා වගේ හැඟීමක් දැනුණේ. ගිරිදේවි නාට්‍ය වෙනුවෙන් ඒ ගෙන ගිය කැම්පේන් එක දකිද්දී සම්මාන නැතත් මට මේ ඇති කියලා හිතුණා. ගොඩක් ආඩම්බරයි. ඇත්තටම මම ඔවුන්ට ණයගැතියි.

ඔය ජනප්‍රිය සහ හොඳම කියන සම්මාන දෙකම ලබා ගැනීම රයිගම් ටෙලි සම්මාන ඉතිහාසයේ වාර්තාවක් නේද?

ඔව්. රයිගම් ටෙලි සම්මාන උළෙලේ පළමු වතාවට තමයි එකම කෙනෙක්ට ජනප්‍රිය සහ හොඳම කියන සම්මාන දෙකම එකවර ලැබුණේ.

මීට අවුරුදු 24කට කලින් සුමති සම්මාන උළෙලේදී චාන්දනි සෙනෙවිරත්න අක්කා මේ සම්මාන දෙකම අරගෙන තියෙනවා. අවුරුදු 24කට පස්සේ තමයි මේ සම්මාන දෙකම එක් කෙනකුට ලැබුණේ.

ඔබේ ජයග්‍රහණයට බොහෝ දෙනෙක්ගෙන් සුබ පැතුම් ගලා එන්න ඇති?

ගොඩක් අයගෙන් සුබ පැතුම් ලැබුණා. මේ සම්මානවලට නිර්දේශ වෙලා හිටපු අය පවා මට සුබ පැතුම් එක් කළා. මාලිනි ෆොන්සේකා මහත්මියත් 1970-1980 අතර කාලයේදී හොඳම නිළිය ජනප්‍රිය නිළිය කියන සම්මාන දෙකම ලබාගෙන තියෙනවා. නිළි රැජන වුණු ඇයත් මට කතා කරලා සුබ පැතුවා. සම්මාන උළෙල බලපු මගේ පවුලේ අය මගේ යාළුවන්ගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබ්බා. මට වඩා සතුටට ඔවුන් තමයි අඬලා තිබ්බේ.

තව කෙනෙක් ජය ගනිද්දී ඇත්තටම සතුටු වෙන්නේ සීමිත පිරිසයි නේද?

කෙනෙක්ට ජයග්‍රහණයක් ලැබුණම සතුටු වෙන්නේ දින්න අයම තමයි. දිනන්න බැරිවුණ අය කරන්නේ දින්න අයට ඊර්ෂ්‍යා කරන එක. මට නම් හදවතින්ම සුබ පතපු බොහෝ දෙනෙක් හිටියා. ප්‍රවීණ, නවක, සමකාලීන බොහෝ දෙනෙක් හදවතින්ම මට සුබ පැතුවා.

වැටිච්ච තැන්වලින් නැඟිටපු මිනිස්සු තමයි ජීවිතය දිනන්නේ. ඔබත් ඒක නේද සනාථ කළේ?

ජීවිතේ වෙච්ච දේවල්වලට මමත් වැටුණා. හැබැයි මම ඔහේ වැටිලා හිටියේ නැහැ. වැටිලා ගොඩ ආවා. මාව වට්ටපු අයට මම සදා ණයගැතියි. ඔවුන් නිසා තමයි මම ශක්තිමත්ව ආයෙත් නැඟිට්ටේ.

කාලයක් ශලනිව දැක්කට වඩා දැන් නිර්මාණවල දකින ශලනි ගොඩක් දියුණු රංගන පරාසයකින් දකින්න ලැබෙන්නේ. එය ඔබේ කැපවීමේ ප්‍රතිඵලයක් නේද?

2013දී සම්බන්ධ වුණු “ඒ ලෙවල් ඉවරයි” නාට්‍යයෙන් තමයි මගේ රංගනයේ වෙනසක් බොහෝ දෙනා දකින්නේ, තාරා, පියස, සික්කා ටීම්, පුංචි වලව්ව, හඳපානාගල, ලෝකෝතරයෝ වගේ නාට්‍ය ගණනාවකට මම සම්බන්ධ වුණත් ඒ නිර්මාණ ගොඩක් දන්න නිර්මාණ වුණේ අඩුවෙන්. අධ්‍යක්ෂවරු කාලයත් එක්ක මං ගැන විශ්වාසය තිබ්බා.

ඔවුන් මට ලබාදෙන පිටපත අනුව තමයි මම ඒ වෙනුවෙන් කැප වෙන්නේ. මම වැඩකට ගියාම ඒ වැඩේ සාර්ථක කරන්න තමයි අවධානය දෙන්නේ. ඒ කැපවීම සහ අධ්‍යක්ෂවරුන් මං ගැන විශ්වාසය ගොඩනඟාගත්ත නිසා තමයි මට මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ.

මේ දවස්වල දකින්න ලැබෙන නිර්මාණ තුළිනුත් ශලනිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබෙනවා නේද?

ඔව්. ගිරිදේවි, අග්නි පියාපත්, සිහින ගෙනෙන කුමාරියේ කියන නාට්‍ය තුන තුළ මම චරිත තුනක් නිරූපණය කරන්නේ. ගිරිදේවි තුළ ඉන්න කමකට නැති කෙල්ලටත්, සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය තුළ ඉන්න ආදරණීය චරිතයටත්. අග්නි පියාපත් තුළ ඉන්නා රස්තියාදුකාර කෙල්ලටත් ආදරය කළ අය තමයි මට මනාප ලබාදුන්නේ.

අග්නි පියාපත් තුළ ඉන්න ටි්‍රෂි තමයි ප්‍රේක්ෂකයන්ට අලුතින්ම ළං වුණේ. ඔබට ඒ චරිත ස්වභාවයට මුහු වෙන්න පහසු වුණාද?

ඒක හරිම අමාරුයි. මම සාමාන්‍යයෙන් මේකප් ගොඩක් දාගෙන ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. මගේ කොණ්ඩේ හදන්න, මේකප් කරන්න මම පැය දෙකක් ඉඳගෙන ඉන්නවා. නහයේ, කටේ මුදු එල්ලගෙන ඉන්නත් අමාරුයි. ටි්‍රෂි කියන්නේ ඕනවට වඩා කේන්ති යන්නේ නැති සංවරව මැරකම් කරන කෙල්ලෙක්. මම ඒ චරිතයත් උපරිම හොඳට කරන්න මහන්සි වෙනවා.

චරිත තුළින් හමුවන කෙනාට වඩා සැබෑ ජීවිතේ ශලනි හාත්පසින්ම වෙනස් නේද?

මගේ ඇත්ත මම තවම රඟපාලා නැහැ. මම කරන චරිතවල යම් යම් කෑලි මගේ ජීවිතෙත් තියෙනවා. මගේ ඇත්ත චරිතය තවම කවුරුවත් හරියට දන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

ශලනි රංගනයට උපරිම කාර්යබහුල කෙනෙක්. ඔබට නිළි භූමිකාව නිසා අහිමි වුණු දේවල් තියෙනවද?

මට එළියට ගිහින් කෑම කන්න, ටි්‍රප් එකක් ගිහින් දවස් කිහිපයක් ඉන්න, චිත්‍රපටයක් බලන්න යන්න වෙලාවක් නැහැ. හැබැයි රංගනයට එන්න හැමෝටම අවස්ථාවක් නැහැ. සමහරු අවස්ථා ඉල්ලගෙන යනවා. මට රංගනය කියන්නේ කාගෙන්වත් ඉල්ලගෙන යන්නේ නැතිව කැරකිලා අතට ආපු අවස්ථාවක්. ඒ නිසා මම ඒකට ආදරෙයි.

සිනමා ජීවිතයෙත් පුංචි තිරයේ තබපු සටහන් තබන්න පුළුවන් වෙයිද?

එහෙම වෙනස් වැඩ කිහිපයක් කරගෙන යනවා. බුඩිගේ චිත්‍රපටයේ වැඩ කරනවා. විය සිදුරු, සීගිරි කියන චිත්‍රපටත් එන්න තියෙනවා. මම කරන දෙයට උපරිම කැපවෙනවා. බලමු ඉදිරියේදී.

ශලනි ජීවිතයේ සැලසුම් හදාගෙන ජීවත්වන කෙනෙක්ද?

මට ජීවිතයේ ලොකු සැලසුම් නැහැ. තිබ්බ සැලසුම් වුණේ නැහැ. ඒ නිසා හොඳම වෙලාවට මේ වගේ හොඳම දේ ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා.

එතකොට ශලනිගේ ජීවිතයට එන කෙනා ගැන වුණත් හිතන්නේ එහෙමද?

මමත් බිසි. සමහරවිට මගේ ජීවිතයට එන්න ඉන්න කෙනත් බිසි ඇති. දැන් මගේ ජීවිතයට වසන්තය ඇවිත් තියෙන්නේ. වසන්තත් කොයි වෙලාවේ හරි ජීවිතයට එයි. එනකල් ඉන්නවා. කලබලයක් නෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ – මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button