දේශීය පුවත්

වසර 73කට පසු එජාපය නොමැති පාර්ලිමේන්තුවක් බිහි වෙයි

09 වන පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 145 ක් හිමිවුණා.

ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන්නේ ආසන 54 ක් දිනාගත් සමගි ජන බලවේගයයි.

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත පක්ෂ සංඛ්‍යාව 15 ක්. නවක මන්ත්‍රීවරුන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටිනවා.

ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රීවරුන් 16 ක් දැනට යෝජනා වී තිබෙනවා.

ඉන් 12 ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වන අතර සමගි ජන බලවේගය / ඉලංගෙයි තමිල් අරසු පක්ෂය / අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයකු බැගින් පත්ව සිටිනවා.

ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 81 ක්.

එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරයා බැගින් හිමි වූවද එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින් අද පාර්ලිමේන්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇති.

එක්සත් ජාතික පක්ෂය බිහිවූ 1947 වසරෙන් පසු එනම් වසර 73 කට පසු පාර්ලිමේන්තුවක පළමු සභාවාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ නොමැති පළමු අවස්ථාව මෙයයි.

මෙවර පාර්ලිමේන්තුවේ වයසින් අඩුම මන්ත්‍රීවරයා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් වන අතර ඔහුගේ වයස අවුරුදු 26 ක්.

වයස්ගතම මන්ත්‍රීවරයා වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ආර් සම්බන්ධන් මහතායි. ඔහු 87 හැවිරිදි වියෙහි පසුවනවා.

Leave a Reply

Your email address will not be published.

Back to top button