වරායේ සත්‍යග්‍රහයට බලන්න ගිය විමල්ට ගම්මන්පිලට සේවකයන්ගෙන් “හූ” වෙන් සංග්‍රහ ලැබෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණි කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ඊයේ (31) රාත්‍රියේ වරාය සේවකයින් වෙතින් දැඩි විරෝධයක් එල්ල වනු දක්නට ලැබුණි.
කොළඹ වරායේ වෘත්තීය සමිති විසින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊයේ තෙවැනි දිනටත් පැවැත්වුණි.
ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් විසඳුමක් නොදීම නිසා ඊයේ පස්වරුව වනවිට හර්තාල් පාලම අසලින් වරාය පිවිසුම අවහිර කළ සේවකයෝ වරායෙහි පර්යන්ත තුනෙහිම වැඩ නවතා දැමූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය ද ඇතුළුව සමිති ගණනාවක් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියේය.
ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් සිදුකරන බවට සහතිකයක් මහමැතිවරණයට පෙර ලබාදෙන ලෙසය.
ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබිණි.
කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණි විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට වරාය සේවකයින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයකි.
සේවකයින් “හූ” කියමින් මහහඬින් විරෝධය පළකරද්දී ඇමති ආරක්ෂකයින් විශාල සංඛ්‍යාවක් පිරිවරාගෙන වීරවංශ මහතා සහ ගම්මන්පිල මහතා එම ස්ථානයෙන් පිටවන ආකාරය ද දක්නට ලැබිණි.