ගොසිප් පුවත්

ලෝකෙටම හොඳ මුහුණ පෙන්වන ගමන්, ෆොටෝ සාප්පුවට ආ රූමත් තරුණියන්ට හදි කළ, සුරවීර-ට මෙලොවදීම කළකම් පළ දුන්නු හැටි

ඔහු හිතුවේ ඒක කවුරු හරි ඉරිසියාවට කරපු බන්ධනයක් බවයි.
 
කාටවත් ඔහුව බලන්න රෝහලට යන එක තහනම් වුනා.
 
අපි අපේ කට ලේසියට අනුව ඔහුට පෙළපතින් උරුම වූ නාමය සංගිරාහාමි යැයි සිතා ගනිමුකෝ. ඊට කලකට පසු ගැටවර වියේදී එනම් ඔහු ප්රේම් ජයන්ත් මාදිලියේ කොණ්ඩයක් නඩත්තු කරන කාලයේ (ඔහු එකල කියා තිබුණේ ඒ විදියට කොණ්ඩය හදාගත් පසු රෑට නිදාගන්නටත් ලෝබ හිතෙන බවයි.)

වෙනස් කරගත් නම සුරවීර යැයි ද සිතා ගනිමුකෝ. ඊටත් පසුව හොඳින් අත මිට පිරුණු වාසනාවන්ත ව්‍යාපාරික නමට පරව සිංහසිරි මහත්තයා ලෙසිනුත් පතල වුණායි කියමුකෝ.

කොහොම වෙතත් ඔහුගේ පූරුව වාසනාව කෙටුම්පත් වී තිබුණේ තම පාරම්පරික යකඩ කුට්ටියකත් තුන හමාරේ මිටියත් මත නොව බොක්ස් කැමරාවක දළ සේයා පටයක යැයි කිව්වොත් නිවැරැදියි. හයේ හතේ කැලෑසිවලින් එහාට ගොඩ යන්නට අත හිතක් නොලද ඔහුට චිත්ර හා අකුරු කලාවට සහජ හුරුවක් නම් තිබුණා.
 
ඔහු ඒ පිටයි බෝවත්ත හන්දියේ ආරියමාලා බයිස්කෝප් මඩුවේ අතවැස්සෙකු ලෙස බැඳුණේ. ප්රොජෙක්ටරේ බාර නිකුලස් මාස්ටර් ඔහුට පොල් බූ නැට්ටක් ගානට තලාගෙන ඩිමයි කොළේ ආරියමාලා නමත් දින වකවානුත් චිත්රපටයේ නමත් දෙමළ ද හින්දි ද සිංහල ද සීරියල් ද යන වගත් ඒ ඒ සයිස් එකට අඳින හැටි ඉගැන්නුවා.
 
ඒ අනුව මඩ්ගාඩ් රහිත පාපැදිය පිටුපස පාප්ප බාල්දියක් බැඳගෙන සැතැපුම් දහයක් පහළොවක පරිධියක් පුරා පාස් බෝඩ් ලෑලිවල පෝස්ටර ඇලෙව්වේ ඔහුයි.
 
ඊළඟට ඔහුට ප්රොජෙක්ටර් රූම් එක ගෙදර වගේ වුණා. එහි දළ සේයා පටි අත ගානා ගමන් ඔහුට හිතුණේ ඒ අසලින්ම කප් ගසා සිටි ඇඩ්මන් මහත්තයාගේ ලේකා ෆොටෝ හවුසිය වගේ එකක් ගොඩනගා ගැනීමේ සිහිනයයි. ඔහු එතැන් සිට හිත ඒකාංශ කරගත්තේ ඒ අරමුණ ඔස්සේය.
 
ඊටත් කාලෙකට පස්සේ සපරමාදු අපොතිකර මහත්තයා අංශබාගෙන් වැටුණු පසු හෝල් එකේ පාලනයත් අකර්මණ්ය වුණා. සංගා එතැනින් ලේකා ෆොටෝ හවුසියට අනුයුක්තයක් හදාගත්තා. පෙට්ටි කැමරාව, ඩාක් රූම් ප්රින්ටින්, රීටචින් ෆිනිෂින් විතරක් නොව රාමු වැඩවලත් දැනුම ගුරු මුෂ්ඨි නැතුවම ඇඩ්මන්ඩ් බාසුන්නැහැගෙන් හූරා ගන්න මේ ගැටවරයා සමත් වුණා. ඒ සිල්පදානයේ සුදු පැත්ත මෙන්ම අඳුරු පැත්තක් ද නොතිබුණා නොවේ.
 
කෙසේ හෝ සුරවීර පුංචියට ෆොටෝ සාප්පුව පටන් ගත්තේ මැහුම් නෝනා මහත්මියකගේ උදව් ඇතිව. අන්තිමේ ඈ එහි අධ්යක්ෂිකාව ලෙසත් ඔහුගේ ඇඹේණිය බවටත් පත්වුණා. ඔවුන් දෙදෙනා දිවා රෑ නොබලා ඉහළ ප්රමිතියකින් යුතුව සේයාරූ ලබාදීම හේතුකොට ගෙන ව්යාපාරය දිදුලන්නට පටන් ගත්තා.
 
අද කාලයේ මෙන් ඩිජිටල් කැමරා හා අත් කැමරා දුලබ ඒ කාලයේ මැති ඇමැතින් ආ ගිය රැස්වීම්වල ෆොටෝ ලස්සනට කර දුන් සේවයට ප්රතිඋපකාර ලෙස ඔවුන්ගෙන් ඔහුට නොයෙක් නොයෙක් ඒජන්තකම් දිගට හරහට ලැබෙන්න ගත්තා. ඔහු නගර කීපයකම කඩ සාප්පු ගණනාවක් ඇරියා.
 
මේවායේ සේවයට ඔහු බඳවා ගත්තේ රූමත් තරුණ ළමිස්සියන්. යහමින් මිල මුදලුත් අතේ දුරින් ලස්සන ළමිස්සියනුත් ගැවැසෙන කොට ඔහුට කළගුණ, උන් හිටි තැන් අමතක වෙන්නට වැඩි දවසක් ගියේ නෑ.
 
මුලින්ම ඔහු තම භාර්යාවගෙන් කසාදය කටුගාගෙන ඇගෙන් නිදහස් වුණා. රූමත් ගැහැනු ළමුන් සේවයට ආවාට වැඩි වේගයකින් පිටව ගියේ තමන්ගේ අනාගතේට වටින බොහොමයක් දේ අහිමි කරගෙන. ඔහු මාසයක් ගානේ පත්තර ලුහුඬු දැන්වීම් මගින් පුරප්පාඩු පියවා ගත්තා.
 
නගරයේ සෙසු ධනවත් ව්යාපාරික ප්රජාව මෙන් කලඑළියට නොබැස්ස හෙතෙම තම රහසිගත සල්ලාල ජීවිතය මනාව සඟවා ගත්තා. ඔවුන් සමග සම්භාෂණ, සුරා සාද අාදී කිසිවකට ඔහු සහභාගි වූයේ නෑ. ඔහුට පත්තියම් ලෙස වැල්පෙනෙල, ළපැටි වඳුරුකුද කරල්, කිරිබදු අල ආදිය තොග පිටින් සපයන්නට වෙනම වට්ටි අම්මලා සිටියා.
 
කොච්චර රස මිහිරක් වුණත් ඉවක් බවක් නැතිව විඳීමේ ආදීනව විපාක වශයෙන් ඵල දුන්නේ ඔහු පළමු වරට සමාජ රෝගියෙකු කරමින්. මහ රෝහලේදී ඔහුගේ කුණු ගතට මෙන්ම ඕලාරික සිතට ද පිළියම් කළේ බෝසත් ගතිගුණයෙන් පිරි ජීවකයාණ කෙනෙක්.
 
එතුමා ඉතාම කාරුණිකව මෙයාකාර කාමාතුරයින් දුරාචාරයෙන් මුදවා ගන්න වෙහෙස දැරුවා. ස්ලයිඩ් සේයා රූ මගින් මෙහි බියකරු පැති පෙන්වා දෙමින් සමාජ රෝග ව්යාප්තිය අඩුකරලන්න දේශන පවත්වමින් සටන් කළා.
 
ඒත් අනික් සිල් පද හතරම රැකගන්න හැකි වුවත් අපේ කතානායකයාට තෙවැනි සිල් පදය රැකගන්න බැරි වුණා. දෙවැනි වතාවේදි ඔහු විශේෂ වාට්ටුවේ එහා මෙහා වුණේ වළසෙක් වගේ හතර ගාතෙන් බවට ඔහුට කුලියට උපස්ථානෙට හිටපු සේවකයා සාක්ෂි දරනවා. කිසිම අමුත්තෙකුට රෝගියා බලන්න යාම තහනම් වුණා.
 
ඔහුගේ මිථ්යා විශ්වාසය වූයේ මේ තමන්ට ඉරිසියාවට විරුද්ධවාදීන් විසින් කරන ලද බැඳපු බන්ධනයක් බවයි. ඔහු ඒ හදි හූනියම් කපන්නන් සඳහා විශාල මුදල් කන්දරාවක් යට කළා.
 
බෝධිසත්ව ජීවකයාණෝ ඔහුට බණදහම් පැත්තෙනුත් කරුණු කාරණා උලුප්පා පෙන්වා ආයෙත් මේ භයානක ලෙඩේ මතුකරගත්තොත් පිළියම් නොමැති බව ඒත්තු ගැන්නුවා. ඒත් කාම රස තෘෂ්ණාවෙන් ඉහ වහා ගිය ව්යාපාරිකයා යළි උග්ර සමාජ රෝග වෛරසයම වැළඳ ගත්තේ ගඟේ යන ඇත් කුණ රස කර කර කන කාක්කෙකු පරිද්දෙන්. ඔහු ඒ ඇත් කුණ මෙන් ස්ත්රී සිරුරම මහෝඝයක් කරගනිමින් එහිම ගිලි ගිලී සැනහුණා, නැහුණා.
 
තම රහසිගත සල්ලාල ජීවිතය වගේම ඔහු මෙලොවින් සමුගන්නා අවස්ථාවත් පැවැත්වුණේ රහසිගතව. බුදු දහමින් පෙන්වා දෙන උපේක්ෂාකාමී ගිහි ජීවන ප්රතිපදාව ගැන මළපොතේ අකුර නොදත් සිංහසිරි මහත්තයාටත් අහිංසක ගැහැනු ළමයින් අමාරුවේ දැමීම හා අසීමාන්තික කාමසුඛල්ලිකානු යෝගයේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන්නෙ එයාකාරයටයි.
 
ගුණතිලක මැටියගනේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button