දේශීය පුවත්

ලංකාගමට පැමිණි ජනපති දුන් තීරණාත්මක තීන්දුව

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද එම ප්‍රදේශයට ගුවනින් පැමිණිය අතර ඒ, එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්නතරයට දැඩි පරිසර හානියක් සිදුවන බවට පරිසරවේදීන් අනාවරණ කිරීමත් සමගයි.

ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව නෙළුව, වාරුකන්දෙනිය, ලංකාගම හරහා දෙනියාය මාර්ගය කිලෝමීටර් 18 සංවර්ධනය කිරීමටත් සිංහරාජය හරහා ඇති මීටර් 1100 පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි අදාළ සියළුම රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙසටත් තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

මේ ජනපති ඒ ගැන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනයි.

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම රජයේ අභිලාෂය බව මම අද(29) නෙළුව-ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කළෙමි.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට මම අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළෙමි.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු වේ.

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි. තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. සියවසකට අධික කාලයක සිට ගැමීහු සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යති.

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස පසුගියදා මම නියෝග කළෙමි.

මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය මාගේ නිරීක්ෂණයට ලක් විණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව නැවතත් මම අවධාරණය කළෙමි.
ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට මම උපදෙස් දුන්නෙමි.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ.

තම කුඩා දරුවන් කරේ හොවාගත් දෙමාපියන් “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස මාගෙන් ඉල්ලා සිටියහ.

මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයට රජය ගත් තීරණයට මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button