දේශීය පුවත්

රූපවාහිනී රියැලිටි ෂෝ සහ වෙළඳ දැන්වීම් සඳහා 13ට අඩු ළමුන් භාවිතය තහනම්

රූපවාහිනී රියැලිටි ෂෝ, වෙළඳ දැන්වීම් සහ රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා හෝ හඬ කැවීම් සඳහා ළමුන් භාවිතා කිරීම පිළිබඳව දැඩි මාර්ගෝපදේශ හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (එන්.සී.පී.ඒ) තීරණය කර තිබේ.

වයස අවුරුදු 13 ට අඩු ළමුන් රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව එන්.සී.පී.ඒ හි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකා මාර්ගෝපදේශ පිළිපැදීමට අවශ්‍ය වන අතර ඊට අනුකූල නොවන නාලිකාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදානපතිරණ මහතා සඳහන් කළේය.

රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා භාවිතා කරන ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

මේ සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩ සාකච්ඡා පවත්වා ඇති අතර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම අවසන් අදියරකට පැමිණ ඇත.

වයස අවුරුදු 3 ට අඩු ළමයින් වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට ඉඩ සලසන නීති සංශෝධනය කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වයස් සීමාව 13 සහ ඊට වැඩි කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ළමයින් ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් සහ රූපවාහිනියේ විකාශනය කරන කාටූන් හඬ කැවීම් සඳහා යොදා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ,රූපවාහිනියේ විකාශනය වන වෙළඳ දැන්වීම් අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවන බවය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනක් සඳහා 54 හැවිරිදි පසුතල නිර්මාණකරුවෙකු පන්නිපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී බාල වයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි මෙම පුද්ගලයා තම උපකාරක පන්තියට පැමිණෙන බාල වයස්කාර පිරිමි ළමුන්ට ලිංගික අතවර කර තිබේ.

අපයෝජනයට ලක් වූ ළමුන්ගේ විවිධ පින්තූර සහ වීඩියෝ දර්ශන පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මූලික පරීක්ෂණ වලින් හෙළි වූයේ මෙම පුද්ගලයා 2018 සිට බාල වයස්ගත පිරිමි ළමුන් ගණනාවක් අපයෝජනය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button