දේශීය පුවත්

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක පිරිසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කර තිබේ.

එහි ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

AV Rase

පත්වීම්ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලබාදීමට නියමිතය.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අදාළ පුහුණු වැඩසටහන භාරව සිටීන අතර පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ තුන ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇත.

පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැළසුම් කර ඇති බව සඳහන් වේ.

එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විෂමතා සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම මෙම රැකියා වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

මෙහිදි තෝරාගත් කිසිවෙකු රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයන් වන බව එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

සය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන්ට ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button