දේශපාලන පුවත්

රනිල්ගේ අලුත්ම රංගනය හේතුවෙන් එජාපයේ නායකත්වය ගැටළුව තවත් දුර යයි

නායකත්වයට බැල්ම හෙළන පුද්ගලයන් උසි ගන්වා එකිනෙකා අවුළුවාලමින් වටේ යවා තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමේ සුපුරුදු ක්‍රමවේදය එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බව එම පක්ෂයේ ජේ‍යෂ්ඨ පිරිසක් පවසනවා.

බාලගිරි දෝෂයට ලක්ව ඇති එජාප නායකත්වය පිළිබඳව සැප්තැම්බර් මස 5 වැනිදා රැස්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණයකට එළැඹෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වැනි දින පවසා ඇතත් එදිනටද එජාප නායකත්වයේ වෙනසක් නොවනු ඇතැයි සිරිකොත සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

AV Rase

එජාප නව නායකත්වය පිළිබඳ තනි තීරණයකට එළැඹීමට තමන්ට හැකියාවක් නොමැති බැවින් පක්‍ෂයේ සාමූහික තීරණය එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගතයුතුව ඇතැයි වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (27) එජාප ජේ‍යෂ්ඨයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

එජාප නව නායකත්වයට ජනතා ආකර්ෂණයක් හා කාර්යක්ෂම නායකයෙක් අවශ්‍ය බවත්, එසේ නොවුණහොත් වැටුණු පක්‍ෂය යළි ගොඩනැඟීම ලෙහෙසි නොවන බවත් එහිදී හෙතෙම පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නව නායකත්වය සඳහා රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්‍ෂාව වී ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ඔහුට පක්‍ෂය තුළින්ම පිරිසකගේ විරෝධයක් එල්ලවී තිබෙන බවද සඳහන් වේ.

මේ වනවිට එජාප නව නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, රුවන් විජයවර්ධන, දයා ගමගේ, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, පාලිත රංගේබණඩාර, අර්ජුන රණතුංග යන එජාප හිටපු අමත්‍යවරුන් ඉදිරිපත්ව සිටින අතර, වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ කවුරු කෙසේ කීවත් එජාප නායකත්වයට සුදුස්සා තමන් බවත් තමා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා තරග කරන බවත් නව නායකයා තෝරා ගන්නා අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඡන්දයක් ඉල්ලා සිටින බවත්ය.

මේ වනවිට එජාප නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් 4ක් සහ ජේ‍යෂ්ඨයන් සමඟ සාකච්ඡා 12 කට අධික ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

කෙසේ වුවද තවත් මාස 6ක කාලයකට හෝ පළාත් සභා මැතිවරණය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වය දැරිය යුතු බවට ඉකුත් අගෝස්තු 10 වැනිදා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී එකඟතාවකට පැමිණ ඇති බැවින් කඩිනමින් එජාප නායකත්වයේ වෙනසක් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් සීමිත බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර කරු ජයසූරිය මහතාට නායකත්වය භාර ගැනීමට යම් යම් පිරිස් පොලඹවා, අන්තිමේ එම පිරිස්ද නන්නත්තාර කරමින් ඔහුට නායකත්වයට පත්වීමට පක්ෂයේ සාමාජිකත්වය දැන් නැතැයි කියන තැනට පත්කොට කරු ජයසූරිය මහතාට විරෝධයක් පිරිසක් ලවා සිදු කරමින් ඔහුට එය නොදෙන තැනට එජාප නායකත්වය තම ක්‍රමවේදය සූක්ෂ්ම ලෙස දියත් කර තිබිණි.

මෙසේ තිබියදී කරු ජයසූරිය මහතා තමන්ට යාවජීව පක්ෂ සාමාජිකත්වය ඇතැයි ඔප්පු කරමින් එම සාමාජිකත්වය ලබාගත් සාමාජික පත සිකුරාදා මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කර සිටියේ ප්‍රසිද්ධියේ මෙම කුමන්ත්‍රණයට ප්‍රතිපහර දීමටය.

2020 වසර සඳහා ජයසූරිය මහතා ලබාගෙන ඇති අංක 0459 දරන සාමාජික කාඩ්පතෙහි අස්සන් තබා ඇත්තේ එජාප පක්ෂයේ මහලේකම්වරයා විසිනි.

උපතිස්ස පෙරේරා, රුවන්ත නිතුල්ගස්පිටිය – මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button