රටම අද යළි විවෘත වෙයි -මීටරය පැන්නොත් අත්අඩංගුවට

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට ඉවත් කෙරෙනවා. කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සමඟ මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවනු ලැබුවේ කෙටි කාලයක් සඳහායි.
ඒ අනුව අද අළුයම 5ට මුළු දිවයිනේම ඇඳිරි නීතිය ඉවත් කෙරෙන අතර එය නැවත දැනුම් දෙනතුරු යලි පැනවෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි.

මෙලෙස ඇඳිරි නීතිය අද සිට ලිහිල් කෙරුණ ද මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද සිට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, දිවයින පුරා කාය වර්ධන මධ්‍යස්ථාන, සති පොළ, පදික වෙළඳාම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
එහෙත්, කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්, භෝජනාගාර සහ අවන්හල් අද සිට යළි විවෘත කිරීමට අවස්ථාව හිමිවන බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා.
ඒ, දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්වයි. කෙසේ වෙතත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රියා කරන්නේ ද නැද්ද යන්න පිළිබදව සොයා බැලීම සඳහා අද සිට විශේෂ වැටලීම් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
මේ අතර, අද සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ගමනාගමනයට ද අවසර හිමි වන අතර, ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන් ද ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ඒ වෙනුවෙන් බස් රථ 5000ක් යොදවා ඇති බවයි.
එමෙන්ම, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලා සිටියේ සේවා අවශ්‍යතා සඳහා පමණක් බස් රථ භාවිත කරන ලෙසයි.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථ කොට්ටාවට පමණක් ධාවන කිරීමට කටයුතු කර ඇති අතර, එම බස් රථවල ගමන් කළ හැක්කේ රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා සඳහා පැමිණෙන්නන්ට පමණක් බවයි ඔහු කියා සිටියේ.
අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද පෙරවරුවේ ආරම්භ වූ අතර, එය අවසන් වන්නේ පස්වරු හයටයි.
මෙහිදී ගාස්තු අයකළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් වන අතර, ගමනාන්තය ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.
එමෙන්ම, අද සිට දුම්රිය සඳහා අමතර මැදිරි එක් කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූව ද රාජකාරී හැඳුනුම්පත පෙන්වා ජනතාවට ගමන් කිරීමට හැකියාව පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.