දේශීය පුවත්

රටටම පිළිකාවක් වූ එලොවින් ආ ජීවකයා

මීට වසර 12කට පමණ පෙර, ඉරිදා ලංකාදීප පුවත් පතේ “එලොවින් ආ ජීවකයා” නමින් අපූරු ලිපි පෙළක් පළවිය. ඕනෑම ලෙඩක් සුව කරන එලොවින් ආ ජීවකයෙකු ගැන මෙම ලිපි මාලාව ලියන ලද්දේ නන්දසේන සූරියආරච්චි නම් කෙනෙකි. ඔහු වාර්තා කළ අන්දමට, මෙම “එලොවින් ආ ජීවකයා” ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා වෙදකම් මගින් සුවපත් කොට තිබේ. එය ඔප්පු කරනු වස් විවිධ ඡායාරූපද පළ විය​. එක් ලිපියක දැක්වූ පරිදි ඔහු හිටපු ජර්මානු චාන්සලර් හෙල්මුට් කෝල්ටද ප්‍රතිකාර කර තිබුණි.

මෙම එලොවින් ආ ජීවකයා සත්‍ය වශයෙන් ම එලොවටත් නැති මෙලොවටත් නැති කැලුම් හර්ෂ කමල් වීරසිංහ නමැත්තෙකි.

AV Rase

මෙම ඡායාරූප සහ ලිපිවල වලංගුතාව ප්‍රසිද්ධ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් සහ ලංකා හේතුවාදී සංගමය විසින් ප්‍රශ්න කරනු ලැබීය. ප්‍රසිද්ධ ලේඛක රුවන් ජයතුංග විසින් මෙම පුද්ගලයාට “ලක්බිම” පුවත්පත ඔස්සේ ප්‍රසිද්ධ අභියෝගයක් ද දෙන ලදී. එනම්, සුව කල නොහැකි බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද රෝගීන් 10 දෙනෙකු අතරින් එක් රෝගියෙකු හෝ සුව කොට පෙන්වන ලෙසටයි. එම අභියෝගයත් සමග එලොවින් ආ ජීවකයා අතුරුදන් විය. ලංකාදීපයේ ලිපි මාලාව ද නැවතී ගියේය.

ඊට පසු කැලුම් වීරසිංහ නැවත පෙනී සිටියේ ගලබොඩ හිමියන්ගේ දිවියට සරණක් නම් ව්‍යාපෘතිය හරහා ය. බොරුවෙන් ගලබොඩ හිමියන්ද ඇන්දවූ ජීවකයා, ගලබොඩ හිමියන්ගෙන් ලබාගත් ප්‍රසිද්ධිය හරහා තවත් වටයකින් අහිංසක මිනිසුන්ගේ මුදල් ගරාගත්තේය. ඊට ද ලංකාවේ බුද්ධිමත් ප්‍රජාවගේ විරෝධය එල්ල වීමෙන් පසුව මොහු තවත් බොරු මාලාවක් ඉතිරි කර පලාගියේ ය. සවුදි කුමාරයකුට බෙහෙත් කළ බව, එංගලන්ත රජපවුලේ කෙනෙකුට බෙහෙත් කළ බව ආදී වශයෙන් මොහු කියන බොරුවල නිමක් නැත. මේවා නොදන්නා අසරණ ජනතාව සිතන්නේ මොහු සත්‍ය ලෙසම කීර්තිමත් වෛද්‍යවරයකු කියාය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා 3ක් තිබේ.ඒ බටහිර (ඇලොපති), ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය සභා තුනය. කැලුම් වීරසිංහ මෙම කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැත. ඒ බව අපි වගකීමෙන් ප්‍රකාශ කරමු. කැලුම් වීරසිංහට කිසිම සභාවක ලියාපදිංචියක් නැත්තේ ඔහු කරන වෙදකමක් නැති බැවිනි. ඔහු කරන්නේ විශ්ව ශක්තියෙන් පවන් සලා, ඉන්පසුව ලෙඩාට රිදෙන්න පහරක් ගැසීම ය. ඇත්තෙන්ම මෙය නොබෙල් තෑග්ග ලැබීමට සුදුසු ප්‍රතිකාර ක්‍රමයකි. ලෝකයේ වසරකට ලෙඩවලින් මිදෙන්න අවශ්‍ය ඖෂධ පර්යේෂණ, වෛද්‍ය පරීක්ෂණ, වෙදහෙදකම් සඳහා රුපියල් නොව ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනු ලැබේ. ඒ කිසිවක් නැතුව විශ්ව ශක්තියෙන් පවන් සලා පහරක් ගසා ලෙඩ හොඳ කළ හැකි නම් කැලුම් වීරසිංහලා ලෝක පූජිත චරිත විය යුතුය. ඇත්ත කතාව නම් කැලුම් වීරසිංහලා ගැන ලංකාවේ සිංහල පත්තර කියවන අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් එහාට වෙන දන්නා කෙනෙකු නැත යන්නයි.

කැලුම් වීරසිංහ මෙදා පොටේ නම් කෙසෙල් ගහට කොටා තිබේ. ඒ, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ ගිණුමක් විවෘත කර ණයක් ලබාගෙන, ඒ ණය කපා හරවාගැනීමට දැරූ උත්සාහයක් අසාර්ථක වීමෙනි. දැන් එම නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී. නඩුවේ සාක්ෂි ඉදිරිපත් වෙමින් යන ආකාරයට, මෙම නඩුව අවසානයෙන් පසුව කැලුම් වීරසිංහගේ ඉතිරි වී ඇති රෙදිත් ගැලවී යනු ඇත. කැලුම් වීරසිංහ දැන් දෙලෝ රත් වී බය බිරාන්ත වී ඉන්නේ එබැවිනි. උසාවියේ නඩුවක් යන අතරේ ඒ ගැන අදහස් දැක්වීම වරදකි. නමුත් කැලුම් වීරසිංහගේ කළු සල්ලිවලට ලියන “ශ්‍රී ලංකා මිරර්” හට මේ රටේ නීතිය විහිළුවක් දැයි අපට අසන්නට සිදු වේ. මන්දයත්, උසාවියේ දෛනික වාර්තා පවා අමුඅමුවේ විකෘති කර සිය වෙබ් අඩවියේ පලකරන බැවිනි. ඔවුන් අන්තිමට ලියා ඇත්තේ “සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වංචා කරන බව පිළිගනියි” යනුවෙනි. එහෙම කිසිදු පිළිගැනීමක් ජුනි 11 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ සිදුවුයේ නැත. ජුනි 11 නඩුව කැඳවුයේ පුද්ගලික මෝසමක් මගිනි. ඒ මෝසම දැම්මේ කැලුම් වීරසිංහගේ පාර්ශ්වයෙනි. එයින් ඉල්ලා සිටියේ සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය උසාවියට කැඳවන ලෙසයි. ලංකාවේ බැංකුවල ශාඛාවල සිදුවන ප්‍රශ්න සම්බන්ධව දිනපතා ලංකාවේ උසාවිවල නඩු විභාග වේ. ඒ සියලු විභාගවලට අධ්‍යක්ෂ මණ්ඩලය එන්න හිටියොත් අධ්‍යක්ෂ මණ්ඩලවලට කරන්න වෙන වැඩක් නැතිවනු ඇත. කැලුම් වීරසිංහ මේ කරන්නේ තමන්ගේ ණය කපා නොහැරීමේ වෛරය සම්පත් බැංකුව පිටින් යවන්න උත්සාහ කිරීම ය. මේ කරන්නේ තමන්ගේ ඉල්ලීමට එකඟ නූනොත් බැංකුවේ කීර්තිනාමය පලුදු කරන බවට කරන තර්ජනයක් බව ඕනෑම ළදරුවකුට තේරුම් ගත හැකිය.

ඉතින් කැලුම් වීරසිංහ, සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය උසාවි ගෙන්වන්න පළමුව අපට ඔබෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් තිබේ. කරුණාකර මේවාට උත්තර දෙන්න.

1. සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙකම අසමත් ඔබ, වෛද්‍යවරයකු වූයේ කවර සුදුසුකමකින් ද?
2. ඔබේ පියා පාරම්පරික වෛද්‍යවරයකු බවට ඔබ කියන කතාව ඔප්පු කළ හැකි ද?
3. ඔබේ පරපුර පාරම්පරික වෙද පරම්පරාවක් නම්, ඔබ ඒ කාලයේ කුලියට ට්‍රැක්ටර් එළවුයේ ඇයි?
4. ඔබ විශ්ව ශක්තිය ලබාගත්තේ අතබලා සාස්තර කියන කාලයේ ද ඊට පසුව ද?
5. ඔබට ආරාධනා නොකළ හෙළ වෙද සමුළුවලට බලෙන් ඇතුළු වී කතා පවත්වන්න ගොස් හූ හඬ මැද්දේ ඔබව එලියට දැම්මේ ඔබ විශ්ව ශක්තිය ලබන්න කලින් ද පසුව ද?
6. ඔබ ලබාගත්තා කියන රන් පදක්කම ලබාදුන්නේ කවර ආයතනයකින් ද? මොනවා කලාට ද?
7. ඔබ විසින් ප්‍රතිකාර කළා ය කියන ඔය ලෝක පූජිත මිනිසුන්, ඔබ වෙනුවෙන් සාක්ෂි දරන්න සූදානම් ද?
8. “සම්පත් බැංකුවේ සිදුවූවා කියන මහා මූල්‍ය වංචාව” ගැන කැලුම් වීරසිංහ කියන ගනුදෙනුව සිදුව ඇත්තේ 2017 වසරේ පෙබරවාරි 06 නම් ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට 2018 වසරේ ඔක්තෝබර් දක්වා කාලයක් ගතකළේ ඇයි ?
9. තම ගිණුමට අදාළ බැංකු වාර්තා එනම් ගනුදෙනු සම්බන්ධව SMS, ඇතුළුව බැංකු වාර්තා මාස් පතා එන බැවින් තම ගිණුම ආශ්‍රිත ගනුදෙනු සිදුවනවා නම් ඒ කිසිවක් ගැන කැලුම් වීරසිංහ නොදැන සිටියාද?
10. කැලුම් වීරසිංහ සම්පත් බැංකුවට ගෙවීමට ඇති ණය මුදල කොපමණද ? ඒ ණය මුදල ගෙවා අවසන් කළහොත් “ඔය කියන වංචාව” නිසා බැංකුවට අහිමිවන මුදල කොපමණද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button