දේශීය පුවත්

මෙවර මහ මැතිවරණයට පක්ෂ දෙකකින් ඉදිරිපත්වූ අපුරු අපේක්ෂකයා

එකම අපේක්ෂකයෙකු මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පක්ෂ දෙකකින් ඉදිරිපත් වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ පෙන්වා දෙති.

ඊයේ (ජූලි 16) දින තැපැල් දෙපාර්තමේන්තුව මගින් ජන්ද දායකයින් වෙත බෙදා දුන් ඡන්ද පත්‍රිකාව සමග ලබා දුන් අපේක්ෂක ලැයිස්තුවේ එකම පුද්ගලයෙකුගේ නම පක්ෂ දෙකක් යටතේ සඳහන්ව තිබෙනු දක්නට ලැබේ.

ඒ අනුව ජනබල පක්ෂය මගින් අංක 03 යටතේත් ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් අංක 02 යටතේත් තරග වදින්නේ එකම පුද්ගලයෙකු බව ජන්දදායකයෝ පවසති.

එකම අපේක්ෂකයෙකුට පක්ෂ දෙකක් යටතේ තරග වැදීමට හැකි ද යන්නත් නාම යෝජනා ප්‍රතික්ෂේප නොවූයේ කෙසේ ද? යන්නත් ඡන්ද දායකයෝ විමසා සිටිති.

මේ පිළිබඳව වහාම මැතිවරණ කොමිෂන් සභාව සොයා බලා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ එකම පුද්ගලයෙකු ද එසේ නොමැති නම් දෙදෙනෙකු ද යන්න වග ඡන්ද දායකයින් වෙත දැනුම් දිය යුතු බව ඡන්ද දායකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

අප⁣ මේ පිළිබඳව රත්නපුර මැතිවරණ කාර්යාලයේ නිලධාරීයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නාමයෝජනා භාර ගත් දින මෙම යෝජනා දෙක සදහා විරෝධතා ඉදිරිපත් නොවූ නිසා මැතිවරණ නීතිය අනුව නාම යෝජනා පිළිගත් බවය.

මේ සම්බන්ධයෙන් අප⁣ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයෙකු වන භාණු මුණිප්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එක ම පුද්ගලයෙකු පක්ෂ දෙකකින් නාම යෝජනා භාර දීම වැරදි ක්‍රියාවක් බවය.

කෙසේ වෙතත් නාම යෝජනා භාර ගත් දින මෙම යෝජනා දෙකට විරෝධතා ඉදිරිපත් වූයේ නම් යෝජනා පත්‍ර⁣ දෙක ම අවලංගු වීමට ඉඩ තිබුණු බව ඔහු සඳහන් කළේය.

මෙලෙස නාම යෝජනා භාර දී ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් බව ඡන්ද දායකයෝ වැඩි පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.

Back to top button