දේශීය පුවත්

මෙරටට ආ අල්කයිඩා ත්‍රස්තයා අත්අඩංගුවට නොගන්නැයි හිටපු පොලිස්පති පූජිත් නියෝග කළා

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් 2018 වසරේදී මෙරටට පැමිණි මොහොතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් වූවත් එම පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන නොපවත්වන ලෙසත් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියෙක් වන වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (16) පැවසීය.

එම නියෝගය පූජිත් ජයසුන්දර තමන්ට ලබාදුන්නේ ලිඛිතව බවද කොමිසම හමුවේ ඔහු පැවැසීය.

මො‍හොමඩ් රිම්සාන් නමැති එම අල්කයිඩා ත්‍රස්ත සාමාජිකයා මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොලේදී ප්‍රශ්න කිරීමකට ලක්වුණු බවත් ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්ද කළ බවත් නාලකද සිල්වා සඳහන් කළේය.

එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සම්පත් කුමාර නමැත්තා තමා අමතා එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයක් පවත්වන බවත් තමාට පැවසූ බවද ඔහු සඳහන් කළේය.

එම ත්‍රස්ත සැකකරුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බව ඒ අවස්ථාවේදී තමා ඔහුට දැනුම් දුන් බවද නාලකද සිල්වා සඳහන් කළේය.

ඒ වන විට අයි.එස්. සහ අල්කයිඩා සංවිධාන පසු බැසීමකට ලක්ව සිටි බැවින් ඔහු මෙරටට පැමිණිම ගැටලුවක් වූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර නමැත්තා තමාගෙන් ඉල්ලා සිටි බවද නාලකද සිල්වා සඳහන් කළේය.

එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර සිටීමට නම් එය ලිඛිතව තමාට අවශ්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාරට තමා දැනුම් දුන් බවත් ඒ අනුව එම ලිඛිත දැනුම් දීම ඔහුගෙන් මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළේය.

වරුණි පෙරමුණ – අරුණ පුවත්පත

Leave a Reply

Your email address will not be published.

Back to top button