දේශීය පුවත්

මිනුවන්ගොඩ පොකුරේ මූලය සොයා පැති හතරක් ඔස්සේ පරීක්ෂණ – යුද හමුදාපති

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර නිර්මාණයවීමට විවිධ පැතිකඩ 4ක් පමණ හේතු වී ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇතිවීමට යුක්‍රේනයේ සිට පැමිණි ගුවන්යානා කාර්ය මණ්ඩලයක් හේතුවී ඇති බවට පළවන පුවත් සම්බන්යෙන් අද (28)  “දෙරණ අරුණ” ඔස්සේ අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැහැදිලි කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට මුල් වූ හේතු පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

“මිනුවන්ගොඩ පොකුර සම්බන්දයෙන් බුද්ධි අංශ විමර්ශනයක් කරලා ඒ විමර්ශන ඉවර නෑ. ඒ විමර්ශන යම්කිසි තත්ත්වයකට අරන් ගිහින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරලා, දැනුම් දෙන්න කියලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් කියන එක සුදුසු නෑ මේ අවස්ථාවේදි. නමුත් ඔව්, ඒ සම්බන්ධව බුද්ධි අංශ යම් කිසි දුරකට අරන් ගිහිල්ලා තිබෙනවා. ඒවා හඹාගෙන යනකොට,ආපු එක් අවස්ථාවක් තමයි මේ ආකාරයෙන් හෝටලයක් සම්බන්ධයෙන්. දැනට ස්ථිරවම කියන්න පුලුවන් එම හෝටලය ගැන සියයට 80ක් පමණ කරුණු කාරණා වාර්තා කරලා තියෙනවා. ඉදිරියේදී දැනගන්න පුලුවන් මේකත් එක් අවස්ථාවක් ද කියලා. ඔව් අනිවාර්යයෙන් මිනුවන්ගොඩට සම්බන්ධ වෙනවා මේක. මේ හෝටලය ගැන ඉදිරියේ දී දැනුම් දෙන්නම්. වාර්තාවක්ම ලබා දිලා නෑ. මේ සම්බන්ධයෙන් හොයා බලා තිබෙනවා. මීට සති දෙකකට පමණ පෙර මම කිව්වා මේක අනිවාර්යෙන් විදේශ රටකින් ආපු තත්ත්වයක් තමයි පැහැදිලි වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ ශ්‍රිලාංකිකයින් සම්බන්ධයෙන්ම නෙමෙයි. පිට රටවලින් එන අයවලුන් සම්බන්ධ දෙයක් කියලා. ඒ හෝටලය සම්බන්ධයෙන් තියෙනවා, ඊට අමතරව නැව් වලින් එන අය සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආකාරයෙන් විවිධ පැතිකඩවල් හතරක් පමණ විවෘත වෙලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කියනවා.”

එසේම, නිරෝධායන මධ්‍යස්ථාන, කොවිඩ් -19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

සෑම කොවිඩි -19 රෝගියෙකුම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවද ‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා පැවසීය.

මේ වනවිට මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8870ක් වන අතර ඉන් 4043 දෙනෙකු සුවය ලබා තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 4808කි.

Source : Adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button