මතුගමින් කොවිඩ් රෝගීන් තිදෙනෙක්

මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.
මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය.

බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.
එම පුද්ගලයින් තිදෙනාම කළුතර නාගොඩ රෝහලෙන් පසුගිය දා ස්වකැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ අනුව ඔවුන් ආසාදිතයින් බවට ඊයේ (13) රාත්‍රීයේ තහවුරු වී තිබේ.
“කළුතර මහරෝහලේ පීසීආර් කිරීමෙන් පසුව කොවිඩ් 19 ආසාදිත බවට රෝගීන් තිදෙනෙකු මතුගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ, බදුගම, ඕවිටිගම සහ යටගල යන ප්‍රදේශවලින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් වාර්තා වුණා. එතැන් සිට මතුගම ප්‍රාදේශීය සභාව, පොලීසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම තිදෙනා මතුගම – කොළඹ වායුසමීකරණය කරන ලද බස් රථයක රියදුරු, කොන්දොස්තර සහ හිමිකරුවන් වෙනවා. මෙම බස් රථය කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් හා පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් සිටිනවා. තවද එම ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. එම බස්රථයේ ගමන් කළ බොහෝ පිරිසක් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.“
එමෙන්ම මෙම බස් රථයේ ගමන් කළ බව පැවසෙන කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු මතුගම වල්ලාවිට ප්‍රදේශයේ පදිංචි හෙදියක්ට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස ආසාදිතයින් හමුවීමත් සමග පුද්ගලික බස් නැවතුම්පොළ අසල ඇති වෙළෙඳසැල් දින 14 ක කාලයක් වසා දැමීමට වෙළෙන්ඳන් කටයුතු කර තිබේ.