දේශපාලන පුවත්

මංගල ඔබ කොහිද ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පෙරේදා (22) දිනය කොතරම් සුවිශේෂී එකක්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේයැයි සිතමු. ඇත්තෙන්ම පෙරේදා දිනයෙහි පාර්ලිමේන්තු රැස්වීම අවසන් කෙරුණේ දින දෙකක් පුරා පැවති වාද විවාද, තර්ක විතර්ක, ෆයිට්, කොමඩි මැදින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය ආපස්සට හැරවීමේ පියවර තබමිනි.

විවාදය පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා, අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා වැන්නන්ගේ පටන් ආණ්ඩු පක්ෂයේ අන්තිමයා දක්වාම උත්සාහ කළේ 20 වැනි සංශෝධනය යනු මහා බරපතළ දෙයක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලයෙහි සම්මත කරගත් 18 වැනි සංශෝධනය කරා ආපසු යාමක් පමණක් බව ඒත්තු ගැන්වීමටය. ඇතැම් විට ඊටත් එහා යමින් මෙය 18 වැනි සංශෝධනයටත් වඩා බලයෙන් අඩු, එතරම් ගණන්ගත යුතු නැති, හුදෙක් 19 වැනි සංශෝධනයෙන් මතුවූ අවුල් ලිහා ගැනීමක් පමණක් බව පෙන්වීමටය.

20 වැනි සංශෝධනය ගැන පසුගිය මාස කිහිපයක් පුරාම ඕනෑ තරම් අය ඕනෑ තරම් විග්‍රහයන් කර ඇති නිසා අප එය තවත් විස්තර කිරීමට යන්නේ නැත. එහෙත් කිව යුතුව ඇත්තේ 20 සහ 18 සංසන්දනය කිරීම යනු විකාරයක්, විහිළුවක් මෙන් අම්බ තක්කඩිකමක් බවය.

ප්‍රශ්න කොතෙකුත් තිබුණත් 18 වැනි සංශෝධනය ගෙන ආවේ අවම වශයෙන් වසර 40ක දේශපාලන අත්දැකීම් තිබුණු, වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම දේශපාලනඥයෙකි. 20 වැනි සංශෝධනය ගෙන එන්නේ යන්තම් වසරකටත් අඩු දේශපාලන අත්දැකීමක් පමණක් ඇති, මිලිටරිමය පසුබිමක් සහිත නායකයෙකි. මේ සන්දර්භයන් දෙක එකිනෙකට සපුරා වෙනස් වන අතර 20න් පසු අද සිට අපට මුණගැසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන්නන්ට නපුරු හීනයක් බඳු තත්වයකි.

මේ ගැන අපේ අදහස වැරදී යන්නේ නම් අපත් ඒ ගැන ඉහළින්ම සතුටු වන නමුත් ඊට ඇත්තේ ඉතාම අඩු ඉඩකි. ඉතිහාසය විසින් එය ඔප්පු කෙරෙනු ඇත.

ඉතින්, මෙවැනි තත්වයකට මුහුණ දෙමින් මේ තත්වයන්ට එරෙහිව සටන් වදින්නට ඒ සටන් කලාව හොඳින්ම දන්නා සටන්කරුවන් සිටිය යුතුය.

ඇත්තෙන්ම පෙරේදා දිනයෙහි 20 පිළිබඳ විවාදයෙහි විපක්ෂය වෙනුවෙන් අවසන් කතාව කරන්නට මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටියා නම් කියා අපට සිතුණු වාර බොහෝය. ඒ මොහොත වනවිට ජනාධිපති සහ අගමැති රාජපක්ෂ සොයුරන් දෙදෙනාම පාර්ලිමේන්තුවෙහි සිටි අතර ඔවුන්ගේ දේශපාලනයෙහි අලගිය මුලගිය තැන් සියල්ල දන්නා මංගල කට අරිනා විට එය ඔවුන්ට ඉතාම අපහසුදායක අත්දැකීමක් වන්නට ඉඩ තිබිණි.

මංගල පෙරේදා සභාවෙහි සිටියා නම් උසාවියේදී කටේ හයියෙන් නඩු ගොඩදාගන්නා පුරුද්ද අනුව විපක්ෂයට සලකමින් සිටි අලි සබ්‍රිලාට ඉතිහාසය ගැන පාඩම් කිහිපයක් ඉගෙන ගන්නට තිබිණි. ඒ, ඇත්තෙන්ම මංගල යනු නමට අලින් නොව දේශපාලනයේ දළ ඇතුන් පවා දණගැස්වීමේ ශිල්පය දන්නා පළපුරුදු ඇත්ගොව්වෙකු නිසාය.

මංගල හිටියා කියා පෙරේදා පාර්ලිමේන්තුවේ සිදුවූ දෙය වෙනස් වන්නේ නැති බව අපි දන්නෙමු. 20 සම්මත වීම නැවැත්වීමට මංගලට තියා කාටවත් ඒ මොහොතේ හැකියාවක් තිබිණියැයි සිතීම පවා විහිළුවකි.

එහෙත්, එවන් ඓතිහාසික මොහොතක, ඊළඟ දිනයේ සිට ඇරඹෙන නව දේශපාලන තත්වයට මුහුණ දීම සඳහා සකලවිධ වූ විපක්ෂ බලවේගවලට, සකලවිධ වූ ප්‍රජාතන්ත්‍රවාදය අගයන බලවේගවලට මූලාරම්භය රැගෙන දෙන්නට ඔහුට තිබිණි. මන්දයත් මේ ඇරඹී තිබෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි මෙතෙක් කිසිදු විපක්ෂයක් මුහුණ නොදුන් අලුත්ම තත්වයක් නිසාය. ඊට මුහුණ දීමට, ඊට එරෙහිව සටන් වැදීමට දේශපාලන අත්දැකීම් සමුදායක් මෙන්ම ඊට අත්‍යවශ්‍ය ජවය, අපේ වචනයෙන් කියනවා නම් “මොරාල්” තිබිය යුතු නිසාය.

මංගලට හුණු ගාන්නට හෝ මංගල පුම්බන්නට හෝ මංගලව මුරුංගා අත්තක තියන්නට අපට කිසිදු වුවමනාවකුත් නැත. මංගල සමඟ දේශපාලනික ප්‍රශ්න අදටත් අපට තිබේ. එහෙත් මෙවැනි අසමාන සටනකදී ඊට සුදුසුම සටන්කරුවකු පැත්තකට වී සිටීම අපරාධයක් බව නොකියා බැරිය.

රාජපක්ෂ පිල ගත් කල එහි මහින්ද, බැසිල්, ගෝඨාභය යනු එකිනෙකට වෙනස් තම තමන්ගේ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයින් වන අති ප්‍රබලයින් තිදෙනෙකි. ඔවුන්ව අවතක්සේරු කිරීම අතිශයින්ම අදේශපාලනිකය. ඊටම තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්වූ විට ඉදිරියෙහිදී බොහෝ අය නොසිතන තත්වයන් නිර්මාණය වනු ඇත. මෙය වතුර කළයේ කිඹුලන් දැකීමක් යැයි කියනා අයට කියන්නට ඇත්තේ අප වතුරත් කළයත් කිඹුළනුත් යන සියල්ලම ඉතාම හොඳින් අඳුනන බවය.

එවැනි අතිශයින් බැරෑරුම් තත්වයක් තුළ ජනතාව දේශපාලනයෙන් ඈත්වී, විපක්ෂය ජනතාවගෙන් ඈත්වීමේ ඉරණම අත් නොවන්නට නම් සටන්කාමීත්වය අන් අයට ද බෝ කළ හැකි පොළඹවන්නන් අවශ්‍යය. මංගලගේ සුවිශේෂත්වය ඇත්තේ එතැනය. අදටත් ඔහු ඉඳහිටක ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කරන කුඩා පණිවිඩයක, ඒ අපට හුරු පුරුදු සටන්කාමීත්වය, එඩිතරබව, ප්‍රහාරාත්මක වචන හරඹය, නිර්මාණශීලීත්වය දැවටී තිබෙනු පෙනේ.

20 වැනි සංශෝධනය නමැති අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව හුදෙක් කමතක තළා දැමුණු පිදුරු රොඩු ගොඩක් මෙන් ඉළපතෙන් ඒ අතටත් මේ අතටත් වීසි කර අවසානයේ දිරායන්නට අතැර දැමීමේ ඉරණමක් ස්වකැමැත්තෙන් තෝරාගත් පාර්ලිමේන්තුවක්, පමාවී හෝ එකී ඉරණමට එරෙහිව පෙළ ගස්වන සටනට මුලපුරන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් අත්වැලක් අවශ්‍යය.

මාස දෙකක් වයසැති ළදරු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සභාගර්භය තුළ විවිධාකාර පන්දම් පාලි නටනා අයුරු දකිනවිට, ඔවුන් නොදන්නා දේශපාලන අතීතය එළියට ඇද ඔවුන්ට කට උත්තර නැති කළ හැකි පළපුරුදු ක්‍රීඩකයා විපක්ෂයේ නැති අඩුව පැහැදිලිව දැනේ.

මේ සටහන ලියුවේත් මංගලත් සමගි ජන බලවේගයත් ආරම්භයෙහිම වරද්දාගත් තැනක් මතක් කරන්නටය. සජබ ජාතික ලැයිස්තුවට එක්ව සිටි මන්ත්‍රීවරුන් දෙස බැලීමේදී ඇත්තෙන්ම මංගලට එහි මුල්ම තැන එදා වෙන් කරන්නට තිබිණි. මංගල මාතර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනාත් බාරදී පසුව මැතිවරණ සටනින් ඉවත්වුණේ තමන්ට මෙවර ජයග්‍රහණය කළ නොහැකි බව පැහැදිලිව දුටු නිසාය. ඇත්තෙන්ම විය යුතුව තිබුණේ ඔය බව කලින්ම තේරුම්ගෙන ජාතික ලැයිස්තුවෙහි ස්ථානයක් ඉල්ලා ගැනීමය.

පාර්ලිමේන්තුවට තේරී පත්වී මුහුණ දුන් පළමු ඡන්ද විමසීමේදීම ආණ්ඩු පක්ෂයට එක්වූ ඩයනා ගමගේලා ජාතික ලැයිස්තුවෙන් පත් කරනා වේලෙහි මංගල සමරවීරට ඒ ආසනය දීම හොඳටෝම වටී. එය මඟහැර ගැනීම දේශපාලනිකව ඔවුන් කරගත් වරදක් බව මංගලත් සජබයත් දෙපාර්ශයම තේරුම්ගත යුතුව ඇත.

එසේම පැත්තකට වී කුඩා කුඩා සටන් පෙරමුණු අලුතින් නිර්මාණය කිරීමට කාලය නාස්ති නොකර මංගලත් නැවතත් තමන්ට සුපුරුදු ප්‍රධාන ධාරාවේ දේශපාලනයට කොතැනින් හෝ එකතු විය යුතුය. මේ සටන ඔහුගේත් එකක් බව ඔහු සිහිපත් කරගත යුතුය. මංගල, ඔබ කොහිද ?

Source : LankaLeadNews

Leave a Reply

Your email address will not be published.

Back to top button