දේශීය පුවත්

බැන්නට කමක් නැහැ – මත්පැන් කාලේ බෝතලේ තහනම් කරනවා – මහින්ද අමරවීර

මත්පැන් කාලේ කුප්පිය හා අනෙකුත් භාණ්ඩවල සැෂේ පැකට් එක තහනම් කරන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදි අවශ්‍ය වුවහොත් මත් පැන් බාගේ බෝතලයද තහනම් කිරීමට පියවර ගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

AV Rase

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මත්පැන් සහ සැෂේ පැකට් වහාම තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් දීලා තියෙනවා.

එමගින් විශාල පරිසර හානියක් සිදුවෙන නිසා එම තීන්දුව ගත්තේ. මත් පැන් කාලේ කුප්පි ලබාදීම සම්බන්ධයෙන් ඒ නිෂ්පාදකයෝ සමග සාකච්ජා කරලා තීන්දු තීරණ කිහිපයක් ගන්නවා. අපි ඒ අයට යෝජනා දෙකක් ගේනවා.

ඒ අතරින් එකක් තමයි කාලේ කුප්පි අලෙවි කිරීමට කටයුතු කරන්නේ නම් නැවත ඒ සමාගම් විසින්ම එම බෝතල් මුදල් දී ලබාගැනීමට කටයුතු කරන්න ඕනේ කියන එක.

එහෙම කරන්න බැරි නම් අපි අනිවාර්යෙන්ම කාලේ කුප්පිය තහනම් කරනවා. මේ වන විටත් මට කට්ටිය බණිනවා කාලේ කුප්පිය තහනම් කිරීමට ගත්ත යෝජනාව සම්බන්ධයෙන්.

බැන්නට කමක් නෑ. මත් පැන් නිෂ්පාදන සමාගම් විසඳුමකට එන්නේ නැතිනම් අනිවාර්යෙන්ම තහනම් කරනවා.

ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට (02 වැනිදා) කැබිනම් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

එහිදී 19 වන ව්‍යයස්ථා සංශෝධනයේ තියෙන ජනතා හිතවාදී ඇතැම් කොමිෂන් සභා ඉතිරිකර අනිත් සියල්ලෙහිම වෙනසක් සිදුවීමට තමයි 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙන්නේ.

කෙසේ නමුත් පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තමයි රජයේ මීළඟ පළමු කාරිය බවට පත් වන්නේ.

නුවන් ජයසේකර – මීගහජදුර – අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button