දේශපාලන පුවත්

බැදුම්කර මගඩිය කෙරූ අය නීතිය ඉදිරියට ගෙන එන ලෙස පොළොන්නරුව ජනතාව ජනපතිගෙන් එක හඬින් ඉල්ලයි

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති.

පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.

විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිතුමා ගොවීන් සමග කියා සිටියේය.

ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද පොළොන්නරුව ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා ඇති ගැටළුවකි.

ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ද ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට අද දහවල් පැවැත්විණ.

එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිතුමා රැස්ව සීටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියා.

Leave a Reply

Your email address will not be published.

Back to top button