ගොසිප් පුවත්

බච්චන් පවුලේ ආරක්ෂාව තර කරන්න ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කරයි

State government decides to tighten security for Bachchan family

බච්චන් පවුලට අයත් බංගලා දෙකක හා එම පවුලේ ආරක්ෂාව තර කිරීමට මහාරාෂ්ට ප්‍රාන්ත ආණ්ඩුව ඉකුත් පියවර ගෙන තිබුණි.

ඒ ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කරන සාමාජිකාවක ලෙස ජයා බච්චන් ඊට පෙර දින ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රි මණ්ඩලයේදී කරනු ලැබූ ප්‍රකාශයකින් පසුව ඇය වෙත සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වෙමින් පවතින තර්ජන හේතුවෙනි.

ඒ අනුව අමිතාබ් බච්චන්, ජයා බච්චන්, අභිෂේක් බච්චන්, අයිශ්චර්යා බච්චන්, මෙන්ම කුඩා ආරාධ්‍යා ඇතුළු බොලිවුඩ් සිනමා පවුලේ සාමාජිකයන් වෙසෙන බංගලා දෙක අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට මහාරාෂ්ට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කළේය.

හින්දුස්තාන් ටයිම්ස් (Hindustan Times) පුවත්පත ප්‍රකාශ කරන අන්දමට බොලිවුඩ් සිනමා කර්මාන්තය අපකීර්තියට පත්කරන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ජයා බච්චන් උත්තර මන්ත්‍රි මණ්ඩලයේදී කළ ක්ෂණික කතාවක් ඇය වෙත සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන ගලා ඒමට හේතු වී තිබේ.

පෙර දැනුම්දීමක් නොමැතිව උත්තර මන්ත්‍රි මණ්ඩලය අමතමින් ජයා බච්චන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර යන්නට විය.

“කිහිපදෙනකු නිසා මුළු කර්මාන්තයේම ප්‍රතිරූපය කෙලෙසන්න බෑ. ඊයේ සිනමා කර්මාන්තයේ සිටි අපේ පහළ මන්ත්‍රි මණ්ඩලය වන ලෝක් සභාවේ සභිකයකු සිනමා කර්මාන්තයට එරෙහිව කළ කතාව ගැන මා ලැජ්ජාවට පත්වෙනවා. එය ලැජ්ජාවක්. විනෝද කර්මාන්තයේ යෙදී සිටින අයව සමාජ මාධ්‍ය මඟින් කානුවටම දානවා.

සිනමා කර්මාන්තය තුළින්ම තමන්ගේ නම හදාගත් අය එය කානුවක් යැයි කියනවා. මා ඊට සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරනවා.

මා බලාපොරොත්තු වෙනවා එවැනි මිනිසුන් මේ වගේ වචන භාවිතයෙන් අෑත්විය යුතු බව ආණ්ඩුව කියයි කියලා.” ජයා බච්චන්ගේ මේ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදී දෙයාකාරයක ප්‍රතිචාර ලැබුණු බව කියැවේ.

සමහරුන් ඇයට දෝෂාරෝපණය කළ අතර සමහර බොලිවුඩ් තාරකා සහ රසිකයන් ඇයගේ කතාවට ප්‍රශංසා කළ බව කියැවේ. ටාප්සි පන්නු (Taapsee Pannu) දියා මිර්සා (Dia Mirza), ජෙනෙලියා දේශ්මුක්, සෝනම් කපූර්, චිත්‍රපට නිෂ්පාදක අනුභාව් සිංහා, ෂාව්තා අශ්මි වැනි අය ජයා බච්චන්ගේ කතාවට දිරි දුන්හ.

පාර්ලිමේන්තුවේදී තම ප්‍රකාශය මඟින් ජයා බච්චන් කිසිවකුගේ නම් සඳහන් නොකළද එම කතාව අනියමින් බොලිවුඩ් නිළි කන්ගානා රනාවුට් (Kangana ranaut) සහ බොලිවුඩ් සිනමා නළුවකු මෙන්ම දේශපාලනඥයකු වන රවි කිශාන් වෙත එල්ල කරන ලද්දක් ලෙස සැලකේ.

ඊට පෙර දින රවි කිශාන් සිනමා කර්මාන්තයේ පවතින මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන කතා කරන ලදී.

ජයා බච්චන්ගේ කතාවට ට්විටර් මඟින් ප්‍රතිචාර දක්වමින් කන්ගනා රනාවුට් ජයා බච්චන්ගෙන් විමසා ඇත්තේ ඇගේ පුතු අභිෂේක් සහ දියණිය ශ්වේතා ඔවුන්ගේ තරුණ අවධියේදී මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූවා නම් සහ ඉන් පහර කෑවා නම් මේ ආකාරයෙන්ම සිතනවාද යනුවෙනි.

ජයා බච්චන්ගේ කතාවට එරෙහි විරෝධය අතු ඉතිලමින් පවතින අතර අඟහරුවාදා තෙලන්ගානා භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක ක්‍රිෂ්ණා සාගර් රාඕ ද ඇයට එරෙහිව ප්‍රබල විරෝධයක් එල්ල කරමින් සිනමා කර්මාන්තයට එරෙහිව කුමන්ත්‍රණයක් ඇතැයි කියන ජයා බච්චන් කුහකත්වය ප්‍රදර්ශනය කරන බව පැවැසීය.

ජයා බච්චන් කාව ආරක්ෂා කිරීමට හදන්නේදැයි ඔහු ප්‍රශ්න කර ඇත.

ඉන්දියාවේ තරුණ පිරිසගේ මෙන්ම තරුණ රංග ශිල්පීන්ගේ ජීවිතය විනාශ කරන මත්ද්‍රව්‍ය වසංගතය හෙළා දැකීමට ජයා බච්චන් කටයුතු නොකළ බවටද ඔහු චෝදනා නඟා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button