පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා – හිටපු ජාතික බුද්ධි ප්‍රධානි පාස්කු කොමිසමේදී කියයි
The phone was left under the seat of the vehicle while going to church before the attack on Easter day - Former Chief of National Intelligence says at the Easter Commission

“පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ පල්ලි යද්දි දුරකතනය නාදවීම අක්‍රිය කරලා (Silent Mode) මෝටර් රථයේ අසුන යට තැබුවා. පාස්කු දිනයේ ප්‍රහාරයෙන් පසු දුරකතනය අතට ගන්නා තුරු එයට ඇමතුම් ලැබී තිබු බව මම දැක්කේ නැහැ” යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා (17) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මදූ ජයතිලක මහත්මිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා එසේ පැවසීය.
නීතිඥ මදූ ජයතිලක මහත්මිය – ඔබ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය ගැන දැන ගත්තේ ඥාතියෙකුගෙන් බව මේ කොමිසමේදී ප්‍රකාශ කර තිබුණා.
පිළිතුර – ඔව්. මම ඥාතියෙක්ගෙන් තමයි දැන ගත්තේ.
ප්‍රශ්නය – ජාතික බුද්ධි ප්‍රධානී ලෙස ඔබට ලැජ්ජාවක් දැනුණේ නැද්ද ඥාතියෙක්ගෙන් ඒ ගැන දැන ගන්නකොට. ඔබනේ ඒ අයටත් පණිවුඩය දැනුම් දිය යුත්තේ.
පිළිතුර – මම මොකටද ලැජ්ජා වෙන්නෙ? මට මේක මගේ කාර්යාලයෙන්වත් කියලා තිබුණේ නැහැ.
කොමිසමේ සභාපති – ඔබගේ කාර්යාලයෙන්වත් මේ පණිවුඩය කිව්වේ නැහැනේ. ඒක කියන්න ඔබේ දුරකථන ක්‍රියාත්මක කර තිබුණාද?
පිළිතුර – අක්‍රීය කර තිබුණේ නැහැ. ඒත් මම කලින් දවසේ පල්ලි යද්දී ඒ කියන්නේ විස්ස හවස හතරට පමණ එය සයිලන්ට් කරලා කාර් එකේ අසුන යට තියලයි ගියේ.
කොමිසමේ සභාපති – ඒක දිගටම සයිලන්ට් කරලාද තිබුණේ? එතකොට හදිසි පණිවුඩයක් කියන්නේ කොහොමද?
පිළිතුර – ඒක නිදාගන්න කොට මගේ ළගයි තියෙන්නේ. ඒ නිසා ඇමතුමක් ආවොත් මට ඇහෙනවා.
කොමිසමේ සභාපති – එහෙත් ඔබට ලැබුණ ඇමතුම් කිසිවක් ඔබ දැක්කේ නැහැනේ.
පිළිතුර – ප්‍රහාරයෙන් පස්සේ තමයි මම ඒවා දැක්කේ.
නීතිඥ ජයතිලක මහත්මිය – මම යෝජනා කරනවා ඔබ ඔබේ වගකීම පැහැර හැරි බවට. පිළිතුර – මම ඒක ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රශ්නය – අප්‍රේල් හතර වැනිදා ලැබුණ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි ප්‍රධානී ඔබට හත්වැනිදා යොමු කළ ලිපිය ඔබට එය ලැබී තිබුණේ අට වැනිදා කියනවා. ඇයි ඔබට ඒක එදිනම නොලැබුණේ?
පිළිතුර – මට ලැබෙන ලිපි වෙනත් කිසිවෙක් විවෘත කරන්නේ නැහැ. හදිසි වැඩක් නැත්නම් මම සිකුරාදා ගෙදර ගියාම ආපසු එන්නේ සඳුදාට. ඒ තරම් වැදගත් තොරතුරක් නම් මගේ ගෙදර තියෙන්නෙත් කිට්ටුවමයි. ගෙදරට එවන්න තිබුණා.
ප්‍රශ්නය – නව වැනිදා බුද්ධි සමාලෝචන රැස්වීමේ න්‍යාය පත්‍රයට මේ තොරතුර ඇතුළත් කරන්න ඔබට ඉඩ තිබුණා. ඇයි ඔබ එසේ නොකළේ?
පිළිතුර – රාජ්‍ය බුද්ධි ප්‍රධානීගේ තොරතුරක් මේක. ඒක එයාගේ අවස්ථාවේ කතා කරන්න තිබුණා.
ප්‍රශ්නය – ඔබ න්‍යාය පත්‍රයේ තුන්වැනි අංගය ලෙස අරන් තිබෙන්නේ ජාතික ආරක්ෂාව බලපාන වෙනත් වැදගත් කරුණු කියලා මාතෘකාවක්. එයට යොදා තිබෙන්නේ විදේශ වලින් පැමිණෙන සිසුන් ගැන ප්‍රශ්නයක්. ඔබට පුළුවන්කම තිබුණා මේක නිලන්ත කතා නොකළා නම් එම අවස්ථාවේ හෝ කතා කරන්න.
පිළිතුර – මේ තොරතුර ලැබුණේ නිලන්තට. ඔහු තමයි තොරතුරුකරු සමග කතා කළේ. ඒ නිසා එය විස්තර කළ හැක්කේ ඔහුටයි.
කොමිසමේ සභාපති – අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩියේ සිදුවූ බයිසිකලයක් පුපුරුවාහැරීමේ සිදුවිම ගැන ජයවර්ධන මහතා දැනුම් දුන්නාද?
පිළිතුර – කිව්වා.
කොමිසමේ සභාපති – එසේ නම් ඔබට එහි බරපතල කම දැනුණේ නැද්ද?
පිළිතුර – එවැනි පිපිරීම් නිතර සිදුවෙනවා. බයිසිකලයක් පුපුරලා නැතත් ග්‍රේනේඩ් වැනි දේවල් පුපුරලා තිබෙනවා.
කොමිසමේ සභාපති – ග්‍රේනේඩ් පිපිරීමයි යතුරුපැදියක් පුපුරුවා හැරීමයි අතර වෙනසක් ඔබට දැනෙන්නේ නැද්ද?
පිළිතුර – නෑ. මම ඒ තරම් ඒ ගැන හිතුවේ නැහැ.
කොමිසමේ සභාපති – ඔබට ග්‍රේනේඩ් පුපුරණකොටත් රාජ්‍ය බුද්ධි ප්‍රධානි දැනුම් දෙනවාද?
පිළිතුර – නැහැ.
කොමිසමේ සභාපති – එහෙම නම් මේක දැනුම් දුන්නේ විශේෂ හේතුවක් නිසා කියලා හිතුනේ නැද්ද? අඩුම තරමින් මට මොකටද මේක එව්වේ කියලා අහලා බැලුවෙත් නැද්ද?
පිළිතුර – නැහැ. මට එහෙම හිතුනේ නැහැ.
කොමිසමේ සභාපති – ඔබ අප්‍රේල් 12 විදේශගත වුණාද?
පිළිතුර – ඔව්.
කොමිසමේ සභාපති – ඒ රාජකාරි කටයුත්තකටද?
පිළිතුර – නැහැ.
කොමිසමේ සභාපති – ඔබට අටවැනිදා අර වගේ බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් මේ වෙලාවේ විදේශ ගතවීම සුදුසු නැහැ කියලා හිතුනේ නැද්ද?
පිළිතුර – නැහැ. මට ඒ තරම් බරපතළ කමක් ගැන දැනුවත් කර තිබුණේ නැහැ. මම ආරක්ෂක ලේකම් සමගත් කතා කරලයි ගියේ.