දේශීය පුවත්

ප්‍රබල පාතාල නායකයන් දෙදෙනෙක් ආරක්ෂක අංශ කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන සැලැස්මක් හෙළි වෙයි

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසී නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත් පොඩි ලැසී 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (08දා) නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ඔවුනට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිපදෙනකු ජුනි මස 26 වැනි දින බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇති බවය.

අවුරුදු පහකට පස්සේ ඒගොල්ලොත් සාමාන්‍ය මිනිස්සු. එතකොට අපට ඕන දෙයක් කරන්න පුළුවන්. ගහලා දමන්න වුණත් පුළුවන් යැයි පොඩි ලැසී නමැත්තා බූස්ස බන්ධනාගාරයේදී ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැසීය.

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරීම පිළිබඳව කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන දෙදෙනා සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කීය.

ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ තවදුරටත් කරුණු වාර්තා කළ දිලීප පීරිස් මහතා මෙසේද කීය.

“බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක් ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නැතැයි කියා උපවාසයක් ආරම්භ කර තිබුණා. ඊට පසුව මේ ගැන සොයා බලන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් ජුනි මස 26 වැනි දින බූස්ස බන්ධනාගාරයට පැමිණියා.

ඒ අවස්ථාවේ පොඩි ලැසී නමැත්තා බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුට සහ බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර තිබුණා.”

“අධිකරණ නියෝග මත රඳවා සිටින මේ පිරිස මැර බලය, අවි බලය සමඟ රජයේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම බරපතළ කාරණයක්. ඒ ගැන සාක්කි රාශියක් සටහන් කරගෙන තියෙනවා.

ඕනෑම අවස්ථාවක පැය දෙකක් ඇතුළත ඕනෑම පුද්ගලයකු ඝාතනය කිරීමේ හැකියාව තමන් සතු බව පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියලා තියෙනවා. තම ආරක්‍ෂාවට ලබාදී ඇති පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පවා ඝාතනය කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඉතිහාසගතවීමට පවා සූදානම් කියලා මේ සැකකරුවන් කියලා තියෙනවා.

පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියලා තියෙනවා ඔවුන්ව සිරගතකර තැබුවාට එළියේ සිදුවන ක්‍රියාකාරකම් කිසිසේත් අඩු නැහැ කියලා. ඔවුන් කියනවා පොලිසියට වඩා ඉදිරියෙන් ජාලය ඉන්නවා කියලා.

ඔවුන්ට එරෙහි වන ජේලර්වරුන් මරා දමන බවත්, බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාගේ සිට ඕනෑම පුද්ගලයකුගේ ඉරණම මරණය බවත් ඔවුන් කියනවා.

ඔවුන් කියනවා ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම් ඉන්නේ තව වසර 05යි කියලා.

එතකොට බලාගමු කියලා. තමන් ජනාධිපතිටත්, ආරක්‍ෂක ලේකම්ටත්, බන්ධනාගාර කොමසාරිස්ටත් බය නැහැ කියලා. ඔවුන් කියනවා. ඒ වගේම ආරක්‍ෂක ලේකම්ට පුළුවන් නම් ඇවිත් ඔවුන් හමුවෙලා පෙන්වන්න කියලත් අභියෝග කරනවා.

ඒ වගේම ඕනෑම පුද්ගලයකු පැය දෙකක් ඇතුළත ඝාතනය කළ හැකි බවත් ඔහු කියනවා. ප්‍රකාශ ගන්න ගිය නිලධාරීන්ට මේ අපරාධකරුවන් කියලා තියෙනවා පුළුවන් නම් මට සර්ගෙ ඇඩ්්‍රස් එක දෙන්න පැය දෙකක් යන්න කලින් ගෙදරට වෙඩි තියලා පෙන්වන්නම්.

ඒ වගේම දුරකථන සංඥා වළක්වන ජෑමර් දාලා තමන්ගේ ජාලය වළක්වන්න බැහැ කියලත් ඔවුන් කියනවා. තමන්ට බන්ධනාගාරයේදී ඉල්ලන නිදහස දුන් නැත්නම් පළමුව බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාත්, දෙවනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත්, අනෙක් කොමසාරිස්වරුත් මරා දමනවා කියලා පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියනවා.

කොස්ගොඩ තාරක කියනවා තමන් විශේෂ බළකායේ හිටපු හමුදා සෙබළකු බවත් කිසිවකුටත් බිය නොවන බවත් අවශ්‍ය නම් බන්ධනාගාරයේ වහලය කඩාගෙන පිටතට පැමිණීමේ හැකියාව තමන් සතු බවත්, එසේ සිදුකිරීමට සහ ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන්ට ශක්තිය ලැබී ඇත්තේ කෙසේද? ඔවුන් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද? දේශපාලන බලපෑමක් තිබේද? සමහර බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන් සිටින සිරකුටිවලට වඳිනවා දැක තියෙනවා. ඒ වගේම තවත් සමහර නිලධාරීන් හිතෙන් වඳිනවා.”

මේ ගැන සොයා බලලා ඒ ගැන අපි කරණු වාර්තා කරනවා.

“ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ගිනිඅවි පරිහරණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඉන්නවා. ඒ වගේම අරුමා හන්දි ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසී නමැත්තාත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඒ නිසා පොඩි ලැසීගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත් මේ තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම පොඩි ලැසී නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන දිනයේ අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.”

“ඉදිරි කාලයේදී පොඩි ලැසී නමැත්තාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමටත් බලාපොරොත්තු වෙනවා” යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසී නමැත්තාගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් 25 වැනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ අතර බූස්ස බන්ධනාගාරයට පොඩි ලැසීගෙන් හා කොස්ගොඩ තාරකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේදී ඔවුන් පොලිස් විශේෂ කාර්ය බළකායට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය පිළිබඳව වාර්තාවක් හෙළි වී තිබෙන අතර එහිදී කොස්ගොඩ තාරකගේ හා පොඩි ලැසීගේ කණ්ඩායමක් ගේ‍රනේඩ් බෝම්බයක් උපයෝගී කරගෙන විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියාට හෝ ආරක්ෂක මුර කණ්ඩායමකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවක් පිළිබඳවත් අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button