දේශීය පුවත්

පල්ලෙමළුව රජ මාළිගාවේ පාදම සොයාගනී

ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ඉදිකළ බවට සැළකෙන හඟුරන්කෙත පල්ලෙමළුව රජ මාළිගාවේ පාදම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

හඟුරන්කෙත වැව ක්‍රීඩාංගනය පිටුපස අක්කර 4ක පමණ ප්‍රදේශයක විහිදී ඇති මෙම භූමිය 1996 වසරේදී පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් පත්‍රයක් මගින් නම්කර ඇත.

පල්ලෙමළුව රජ මාළිගාව මහනුවර යුගයේ රජකළ සෙනරත් රජු විසින් ඉදිකර පසුව දෙවන රාජසිංහ රජු විසින් සංවර්ධනය කරන ලද්දක් ලෙස සැළකේ.

1803 දී උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසි ජාතික මේජර් බේලි නම් හමුදා නිලධාරියා සහ අනුඛණ්ඩය මෙම මාළිගා පරිශ්‍රයට ගිනි තබා විනාශ කොට ඇති බවට ලිඛිත සාක්ෂි රැසකින් අනාවරණය වී තිබේ.

රජමාළිගා සංකීර්ණය අවට පැවති ඇතැම් නටබුන් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයක ඉදිකිරීම් සඳහා ද යොදාගෙන ඇත.

ඉදිරියේදී මෙම භූමිය කැණීමෙන් සොයාගන්නා පුරාවිද්‍යා ගොඩනැගිලි කොටස් සංචාරකයින් සඳහා ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන බව මධ්‍යම පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජයන්ත බන්දුල දිසානායක මහතා සඳහන් කළේය.

Source : Adaderana

Leave a Reply

Your email address will not be published.

Back to top button