දේශීය පුවත්

නෞකාවේ ගින්න පාලනය කිරීමට හමුදාව සමත් වෙයි – නෞකාවේ බොර තෙල් ඉවත් කිරීමේ කටයුතුත් කඩිනම් කරයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව පාලනය කර තිබෙනවා.

ඉන්දියාවේද සහය ඇතිව දින දෙකකට ආසන්න කාලයක් පුරා සිදුකල සාර්ථක මෙහෙයුමකින් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවයි නාවික හමුදා ප්‍රකාශ කර සිටියේ.

AV Rase

බාහිර වශයෙන් ගින්න බොහෝදුරට මැඩපවත්වා ඇති නමුත් නෞකාව අභ්‍යන්තරයේ තවදුරටත් ගින්න පවතින බව නාවික හමුදාව පෙන්වා දෙයි.

නොගැඹුරු මුහුදට නෞකාව ගසාගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව පාලනය කල හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේයි ඔවුන් ඒ බව දැනුම් දෙන්නේ.

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ ඊයේ රාත්‍රී 7.00 පමණ වන විට එම් ටී නිව් ඩයමන්ඞ් නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කරගැනීමට හැකිවූ බවයි.

නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය නිකුත් කළ ට්විටර් නිවේදනයේ සඳහන් වන්නේ.

නෞකාව හිමි සමාගම විසින් කුලියට ගත් ටග් යාත්‍රා දෙකක් මේවනවිට නැව ආසන්නයට පැමිණ තිබෙනවා.

එමෙන්ම ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නැව් ද තවදුරටත් සහය සපයමින් සිටින බවයි සඳහන් කෙරුණේ.

මීට අමතරව ගිනි නිවීමට අවශ්‍ය උපාංග රැගත් නැව් හම්බන්තොටින් / ත්‍රිකුණාමලයෙන් හා කොළඹින් පැමිණිමට නියමිතයි.

මේ අතර එම් ටී නිව් ඩයමන්ඞ් නම් මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව, එවැනි ආපදාවලට ලක්වූ නෞකා බේරාගනු ලබන ජාත්‍යන්තර සමාගමකට බාර දී තිබෙනවා.

ඒ නැවෙහි ඇති බොර තෙල් සහ ඩීසල් ඉවත්කර ඉන් සාගරයට විය හැකි හානිය අවම කිරීම සඳහායි.

එමෙන්ම නෞකාවේ හිමිකාරීත්වය ඇති සමාගමේ නියෝජිතයින් පිරිසක් ලබන සඳුදා දිවයිනට පැමිණිමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තහවුරු කරනවා.

පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව කුවේටයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් සිටිය දී සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38 ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදේදී හදිසි ගිනි ගැනීමකට ලක්වුයේ පෙරේදා පෙරවරුවේයි.

බොර තෙල් මෙටි්‍රක්ටොන් 270,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් එක්දහස් හත්සීයක් රැගෙන යමින් තිබූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු බේරා ගැණුනු අතර බොයිලේරු කාමරයේ හටගත් පිපිරීමකින් පිලිපීන ජාතික එක් නැවියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button