දේශීය පුවත්

නව වැනි පාර්ලිමේන්තුවේ මොකද උනේ?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිතරගයෙන් තේරී පත්වුනා.

9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පෙරවරු 09 යි 30 ට ආරම්භ වූ අතර එහිදී ඡන්ද විමසීමකින් තොරවයි නව කථානායකවරයා පත්කර ගැණුනේ.

නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා එය ස්ථිර කළා.

අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සිදුවුනේ ඉන් පසුවයි.

මන්ත්‍රිවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුභ පතමින් අදහස් දැක්වූවා.

ඉන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව ඇමතුවා.

ආදර්ශමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙනයාමට සියලුදෙනාගේ සහය ලබා දෙන ලෙසයි කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ.

ඉන් පසු සිදුකෙරුනේ නියෝජ්‍ය කථානායකවරයා පත්කරගැනීමයි.

එහිදී නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතා ඒකමතිකව තෝරා පත්කරගැනුනා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාව ඉදිරිපත් කල රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එය ස්ථිර කළා.

නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා වූ අතර එයද ඒකමතිකව සම්මත වුණා.

මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බවත් කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අද පෙරවරුවේ වැඩ භාරගනු ලැබුවා.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව අද සවස 3 දක්වා කල් තැබුණා.

අද සවස 3 ට අභිනව පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පස්වරුවේ මංගල සභාවාරය අවසානයේ පාර්ලිමේන්තුව හෙට දිනය තෙක් කල් තැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button