දේශීය පුවත්

දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ලිහිල් කෙරෙනවා.

ඒ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ද බලපාන පරිදි දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, දිවයින පුරා හෝටල්, කාය වර්ධන මධ්‍යස්ථාන, සති පොළ, පදික වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවලට තවදුරටත් අවසර ලබා නොදෙන බව පොලීසිය ප්‍රකාශ කළා.

පසුගිය මාර්තු මස 11 වන දා මෙරටින් පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් මාර්තු මස 20 වන දායි.

කෙසේ වෙතත්, ඉන් දින 52කට පසු දිවයිනේ සියළු දිස්ත්‍රික්කවල ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කෙරුණා.

මෙලෙස ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණ ද මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෙට සිට කටයුතු කරන බවයි.

මේ අතර, දිවයින පුරා කාය වර්ධන මධ්‍යස්ථාන, සති පොළ, පදික වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවලට තවදුරටත් අවසර ලබා දී  නැහැ.

කෙසේ වෙතත්, කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්, භෝජනාගාර සහ අවන්හල් හෙට සිට යළි විවෘත කිරීමට අවස්ථාව හිමිවන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

එහි  ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව මේවා විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවයි.

මේ අතර, හෙට සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ගමනාගමනයට ද අවසර හිමි වන අතර, ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන් ද ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ඒ වෙනුවෙන් බස් රථ 5000ක් යොදවා ඇති බවයි.

එමෙන්ම, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව වෙතින් ඉල්ලා සිටියේ සේවා අවශ්‍යතා සඳහා පමණක් බස් රථ භාවිත කරන ලෙසයි.

මේ අතර, දුම්රිය සඳහා අමතර මැදිරි එක් කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූව ද රාජකාරී හැඳුනුම්පත පෙන්වා ජනතාවට ගමන් කිරීමට හැකියාව පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එමෙන්ම, තවදුරටත් දුම්රිය තුළ අසුන් ගැනීමට හැකියාව පවතින්නේ නම්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක තුළ දී පමණක් සාමාන්‍ය ජනතාවට දුම්රිය භාවිත කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ යොදවා ඇති දුම්රිය ප්‍රමාණවත් නොවන බවයි දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ නගරවල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ආකාරයක් මේ දිනවල දක්නට ලැබුණු අතර, පිරිසිදු කිරීම් සිදුකරන සේවකයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර, කොළඹ කොටස් වෙළඳපොලේ හුවමාරු කටයුතු හෙට සිට යළි ආරම්භ කෙරෙන බව නිවේදනය කෙරුණා.

ඒ ගණුදෙනු කාලසීමාව දිගු කිරීමක් සහිතවයි.

කොටස් වෙළඳපොලේ පූර්ව විවෘත සැසිය පෙරවරු 10.30 සිට 11 දක්වා ක්‍රියාත්මක වන අතර, විවෘත වෙන්දේසිය පෙරවරු 11 ට සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව, සාමාන්‍ය ගණුදෙනු කටයුතු පෙරවරු 11 සිට පස්වරු 2.30 දක්වා සිදුකෙරෙන බවයි කොළඹ කොටස් වෙළඳපොල නිවේදනය කළේ.

මීට අමතරව කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හැකි තරම් අඩු සංඛ්‍යාවක් සහභාගි කර ගත යුතු බවත්, උත්සවය පවත්වන කාලය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය බව ද අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේ වුවද ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයේ මූලිකයා වන්නේ ජනතාවයි.

ඔවුන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රියා කළහොත් පමණක් මෙරටින් කොරෝනා වෛරසය තුරන් කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button