දරුවන් තිදෙනාත් ආදරණීය බිරිඳත් බලන්න අදටත් කනත්තට යන කටුවපිටියේ තාත්තා

සුසන්තගේ ජීවිතය ගෙවෙන්නේ කිසිදු අරමුණකින් තොරවය. වැඩිපුර ත්‍රීවීලරයට වී කාලය ගෙවන සුසන්ත තම දුක වේදනාව දරා ගැනීමට නොහැකි වූ බොහෝ අවස්ථාවල කරන්නේ සුසාන භූමියට ගොස් මොහොතක් ගත කිරීමය.
“මම ඉතින් වෙන මොනවා කියලා කරන්නද? මගේ බිරිය දරුවෝ ඉන්නේ එතැනනේ.
එතැනට යන එක ඊටත් වඩා දුකක් තමයි. ඒත් මම වෙන කවුරු ළඟට යන්නද? කවුරු එක්ක කතා කරන්නද? මම විඳින වේදනාව කවුරුත් දන්නේ නැහැ මහත්තයෝ..” සුසන්ත කෑගසා වේදනාවෙන් කීවේය.
මීගමුව කටුවාපිටියේ ජීවත්වන ප්‍රදීප් සුසන්ත ත්‍රීවීලර් රියැදුරෙකි. එහෙත් මීට වසරකට පෙර ඔහු තම දරු පවුල ජීවත් කරවන්නට තවත් වෘත්තීන් දෙකකට තම ශ්‍රම දායකත්වය ලබාදී තිබිණි.
“මම දවල්ට ත්‍රීවීලර් එක එළෙව්වා. රෑට සිකුරිටි රස්සාවක් කළා. ඊට අමතරව ඉඩම්, ගෙවල් විකුණන සොයාදෙන බේරා්කර් වැඩකුත් කළා.
මේ හැමදේම මම කළේ මගෙ දරුවෝ තුන්දෙනාට යහපත් හෙට දවසක් හදන්න. ඒගොල්ලන්ට අවශ්‍ය හැමදේම මම අරන් දුන්නා. දරුවන්ව ටියුෂන් පන්ති අරගෙන යන්න පහසු වෙන්න නෝනට ස්කූටියක් පවා අරගෙන දුන්නා.
මම ගෙදරින් එළියට ගියත් හැම පැයකටම වරක් මම ඒ අයට දුරකථන ඇමතුම් දීලා වෙන්නේ මොනවද කරන්න ඕනෑ මොනවද කියලා හොයලා බැලුවා. ඒ විතරක් නෙවෙයි මම හම්බ කරපු හැම සතයක්ම දුන්නේ බිරියගේ අතට. ත්‍රීවීලර් එකේ විතරක් නෙවෙයි, සිකුරිටි රස්සාවේ පඩි පැකට් එකත් දුන්නේ එයාගෙ අතට.
එහෙම ජීවිතයක් තමයි මට තිබුණේ. ඒක තමයි මහත්තයා මට නැති වුණේ. ඉතින් මොනවද දැන් මම කරන්නේ?”
සුසන්ත ප්‍රශ්න කරන්නේ වේදනාවෙනි.
සුසන්තගේ බිරිය රසිකා දිල්රුක්ෂිය. 35 හැවිරිදි ඇයගේ පළමු දියණියගේ වයස අවුරුදු 14කි. දෙවැන්නියට වයස අවුරුදු 9කි. තුන්වැනි පුතාගේ වයස අවුරුදු 7කි.
මේ දරු තිදෙනා ගෙදර සෙල්ලම් ගෙවල් සෑදූහ. ඒවා විවෘත කළේ සුසන්තය.
“දරුවෝ මම ගෙදරට එනකං මඟ බලාගෙනයි ඉන්නෙ. මම ගිය ගමන් ඒ ගොල්ලෝ මං වටේ දැවටෙනවා. මම සෙල්ලම් ගෙදර ප්‍රධාන අමුත්තා හැටියට සහභාගි වෙනවා. එහෙම ජීවිතයක් තමයි මට තිබුණේ.”
ගෙදරට තිබූ මේ ඇල්ම _ බැල්ම නිසාම සුසන්ත තමන්ගේ නිවසෙහි සිටියේ රජකු මෙන්ය. බිරිය තුළ මෙන්ම දරුවන් තුළද තමන්ට තිබූ ගෞරවය පියකු ලෙස ඔහු උපරිම ආකාරයෙන් භුක්ති වින්දේය.
“මම මගේ බිරියටයි දරුවන්ටයි මොනවද ගෙනැල්ලා නොදුන්නේ. හැමදේම දුන්නා. මට මතකයි පාස්කු ඉරිදට කලින් දවසේ මගේ බිරිය මා එක්කම අලුත් ගවුමක් ගන්න ගිය විදිහ. ඒ ගවුම හරි නැහැ කියලා අන්තිමට ගෙදර තිබුණු තවත් ලස්සනම ඇඳුමක් ඇඳලා පෙන්නපු විදිහ..”
රසිකා දිල්රුක්ෂි තම ස්වාමි පුරුෂයා වූ සුසන්ත ඉදිරියේ හැඩට වැඩට පෙනී සිටි අවසාන දවස වූයේ එදාය.
එදින හවස් වරුවේද සුසන්ත සුපුරුදු ලෙස සිකුරිටි රස්සාවට ගියේය.
“මේ උදේ හොඳ ඇඳුමක් ඇඳගෙන පල්ලියට එන්න. කිලිටි ඇඳුම් ඇඳගෙන එන්න එපා.” රසිකා සිනාසී කීවාය.
පාස්කු ඉරිදා උදෑසන රසිකා දරු තිදෙනාද සමඟ කටුවාපිටිය දේවස්ථානයට ගියාය. හිමිදිරියේම රාජකාරි ස්ථානයෙන් පිටත් වූ සුසන්ත පල්ලියේ පිටුපස ගේට්ටුව අසලට පැමිණ එහි රැඳී සිටියේය. ඒ කිලිටි ඇඳුමින් පල්ලිය තුළට යන්නට නොහැකි නිසාය.
“පාස්කු කියන්නේ වෙනම මංගල්‍යයක්. ඒ පූජාවට හැමෝම යන්නේ ලස්සනට ඇඳලා. ඉතින් මගේ ඇඳුම් හොඳ නැති නිසා මම එළියට වෙලා හිටියා. එතකොට වෙලාව 8.10ට විතර වගේ ඇති. මහ ලොකු ශබ්දයක් එක්ක පොළොව හෙලවෙනවා වගේ දැනුණා.”
සුසන්ත දේවස්ථානය තුළට දිවගියේය. ඒ වනවිට දේවස්ථානය තුළ සිටි බොහෝ දෙනා පිස්සුවෙන් මෙන් සීසීකඩ දුවන හැටි ඔහු දුටුවේය. තවත් පිරිසක් තුවාල සහිතව තැන් තැන්වලද ඇදවැටී සිටියහ. අවට වටපිටාවෙන් ඇසුණේ මරළතෝනිය.
මේ සියලු දෙයින් කම්පනයට පත් සුසන්ත පල්ලිය පිටුපසින් ඊට ඇතුළු විය.
“මම අල්තාරය පැත්තෙන් ගිහින් මගේ බිරිය, මගේ දරුවෝ හෙව්වා. ඒ වෙලාවේ මම දැක්කා මගේ බිරිය ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා. එයාට යටවෙලා මගේ පුංචි දරුවෝ මැරිලා වැටිලා හිටියා. අනේ මම කෑගහලා ඇඬුවා. ඒ වෙලාවේ මගේ නෝනා මගේ දිහා බලලා මොනවදෝ කියන්න හැදුවා. මට තේරුණා එයාට පණ තියෙනවා කියලා. මම බිරියව ඔසවාගෙන දරුවෝ තනි කරලා වාහනයක් සොයාගෙන දිව්වා. මම කොයිතරම් අවාසනාවන්තයෙක්ද? ඇයි මට මෙහෙම දෙයක් වුණේ?”
සුසන්ත තමන්ගේ බිරිය රැගෙන මීගමුවේ මහ රෝහලට ගියේය. එතැනින් කෙරුණු ප්‍රතිකාරවලින් පසුව ඇය රාගමටත් එතැනින් කරාපිටියටත් ගෙන ගියේය. ඇයට ශල්‍යකර්මයක් පවා කරන්නට සිදුවිය. එහෙත් ඇය මිය ගියාය.
සුසන්ත ඊළඟට දිව්වේ තමන්ගේ දරුවන්ගේ මෘතදේහ ඇති තැන් සොයාගන්නටය. ඒත් කිසිදු හෝඩුවාවක් නොලැබිණි. අවසානයේදී ඥාති සොයුරකු මාර්ගයෙන් එම මෘතදේහයන් රාගම සහ කොළඹ තිබෙන බව ඔහුට දැනගන්නට ලැබුණේය.
“මම ඒ තුවාල වෙච්ච ඒ වගේම මරණ පරීක්ෂණ සඳහා කපා කොට තිබූ ශරීර දකින්න තරම් අවාසනාවන්ත තාත්තා කෙනෙක් වුණා. මට තියෙන්නේ අන්න ඒ විදිහේ මතකයක්..”
මේ සියලුදේට හැඟෙන හා රිදෙන හදවතින් යුතුව මුහුණදුන් සුසන්ත අවසානයේදී නතර වූයේ කනත්තේය. ඒ ජීවත්වෙන්න තරම් ජීවිතයක් ඔහුට නොතිබුණු නිසාය.
“එදා ඉඳලා මම ගෙදර ගියේ නෑ. අම්මලගේ ගෙදරට ගියා. ඒ වගේම මට දුක හිතෙන හැම වෙලාවකදීම කනත්තට ගියා. ගිහින් වරු ගණන් ඒ සොහොන් කොත් ළඟ හිටියා. ඇඬුවා. ඉටි පහන් පත්තු කරලා කවදාවත් මේ වගේ ඉරණමක් අත්වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා. දැන් ඒ පුරුද්ද වෙනස් කරන්න මට බැහැ.”
අරමුණක් ඇතිව ජීවත් වූ සුසන්තට දැන් අරමුණක් නැත. ජීවිතය විඳවමින් ඔහු ජීවත් වන්නේය.
“දැන් කියලත් වෙනසක් නැහැ. ඉඩ ලැබෙන හැම වෙලාවෙම මම රැයක් දවාලක් නැතිව සුසාන භූමියට යනවා. ගිහින් ඒ අයට කතා කරනවා. මගේ දුක කියනවා.”
සුසන්ත පුදුමාකාර තාත්තා කෙනෙකි. පුදුමාකාර ස්වාමිපුරුෂයකි. ඒ ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට නම් සුසාන භූමියට යා යුතුමය.
“සොහොන් කොත කියලා මට වෙනසක් නැහැ. දරුවන්ගේ උපන් දින යෙදිලා තියෙන දවසට ඒ ගොල්ලන්ට මම මගේම අත්අකුරින් උපන්දින සුබ පැතුමක් ලියලා ඒ කාඩ් එක එතැන රඳවනවා. ඇත්තටම මම මේ හැම දෙයක්ම කරන්නේ ඒ අය සමඟ ජීවත්වෙන්න ඕනෑ නිසයි.
සමහරු හිතන්න පුළුවන් මම කාලයත් එක්ක වෙනස් වේවි. වෙන අතක් බලා ගනීවි කියලා. ඒක වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ. මොකද මගේ හිත දන්නවා මම ඒ අයට ආදරේ කළ විදිහ.”
සුසන්තගේ ජීවිතය අදටත් වැඩිපුර ගෙවන්නේ ත්‍රීවීලරය තුළය. ඒ රෝද කැරකැවෙන තරමටම ඔහුගේ හිත අතීතයට කරා පිවිසෙයි. ලෙහෙසියෙන් පහසුවෙන් අමතක කිරීමට නොහැකි වසරක් වැනි කාලපරිච්ඡේදයක් ගෙවී ගිය ඒ අවාසනාවන්ත දවස තවමත් ඔහුගේ යටි හිත තුළ හොල්මන් කරන නිසාය.
“මම මැරෙනකම්ම මෙහෙම තමයි. මට ජීවිතයක් නැහැ. ඒ මූසල අතීතයේම මම හැමදාම මැරි මැරී ජීවත් වේවි” සුසන්ත අවසන් වශයෙන් කීවේය.
සුසන්තගේ මේ කතාව අප සටහන් කිරීමට සිතුවේ පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේදී හෙළි වූ කරුණක් පදනම් කොටගෙනය.
මේ කොමිසමේදී සාක්කි දුන් කටුවාපිටිය දේවස්ථානයට සම්බන්ධ පූජකවරයකු සඳහන් කළේ, මෙම අවාසනාවන්ත සිදුවීමට වසරක් ලබා තිබුණත් තවමත් නිදි නොලබා සුසාන භූමියට ගොස් හඬා වැටෙන පියවරුන් සිටිනා බවය. සුසන්ත එවැනි තාත්තා කෙනෙකි. ඉදින් එවැනි තාත්තලාට, එවැනි අම්මලාට පමණක් නොව එවැනි දරු පවුල්වලට සාධාරණය ඉටු විය යුතුය. ඒ මේ තුච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදීමෙනි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ – මව්බිම