දේශපාලන පුවත්

ජනපති හා ආරක්ෂක ලේකම් ඝාතනය කරන බවට පාතාලයෙන් මරණ තර්ජන

පාතාල නායකයෝ දෙදෙනෙක් ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතනය කරන බවට තර්ජන

ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම රැදවියන් දෙදෙනා බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිප දෙනෙකුටද මරණ තර්ජන එල්ල කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, ඉකුත් ජුනි මස 26 වනදා එම බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වු අවස්ථාවේදීයි.

ඔවුන්ගේ ඉල්ලීම වුණේ තමන් සිර මැදිරිවලින් පිටත රදවා තැබෙන කාලය වැඩි කරන ලෙසයි.

ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙම තර්ජනය සිදුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දී ඇති අතර මෙම පාතාල සාමාජිකයින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට ද තර්ජනය කර ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට සහ බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ මරණ තර්ජන සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුව ලිඛිතව පැමිණිලි කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ඊයේ ප‍්‍රකාශ සටහන් කර ගැණුනා.

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට නියමිතව තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී, බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද මේ වනවිට පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙහෙය වූ මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button